2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

ස්ත්‍රියක් නිසා දැහැන බිඳගත් තවුසා

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

බුදුන් දවස පවා සමහර භික්ෂූන් ස්ත්‍රීන් ගැන ආශා ඇතිකරගත්තා. පැවිදි ජීවිතය ගැන කලකිරුණා. එවැනි එක් භික්ෂුවක් සිවුරු හැරදමා යන්න තැත් කළා. අනෙක් භික්ෂූන් එය දැනගෙන බුදුන් වහන්සේට පැමිණිලි කළා.

බුදුන් වහන්සේ ඒ හිමියන් කැඳවා මහණ, ඔබ ස්ත්‍රියක් නිසා සිත කළඹවාගෙන නේද? විචාළා.

එසේය ස්වාමිනී!

සිවුරු හැර යන්නද යන්නේ.

එසේය ස්වාමිනී!

මහණ, ඔබ ස්ත්‍රී මායම්වලට අසුවී ඇත. ඉන් ඔබ සිත අවුල් කරගෙන ඇත. ස්ත්‍රී අඟ පසඟ දැක මුලාවීම අරුමයක් නොවේ. පෙර කල ඔබට වඩා උසස් උත්තමයන් පවා ස්ත්‍රීන් නිසා සිත කළඹවාගෙන ඇතැයි දක්වා මේ කතාව වදාළා.
බරණැස එක් බඹදත් රජ කෙනකු දවස බොහෝ සම්පත් ඇති බමුණු පවුලක එක පුතෙක් උන්නා. ඔහු දැහැමි කෙනෙක්. මේ තරුණයාට ගිහිගෙය කලකිරුණා. බිරිඳක් ගෙට ගෙන ඒම ගැන අදහසක් තිබුණෙත් නෑ. මව්පියෝ එකම පුතා නිසා පරම්පරාව ගෙන යන්න බිරිඳක් ගෙන එන්න යැයි බල කළා. ඔහු ඊට තදින්ම අකැමැති වුණා. ඒ නිසා මව්පියෝ ඔහු ගැන දුක් වුණා.

මේ බමුණු තරුණයා මව්පියන්ට හොඳින් උවටැන් කළා.

කාලය ගෙවී ගියා. මව්පියෝ මියගියා. ඔහුට විශාල සම්පතක් උරුම වුණා. ඔහු කල්පනා කරන්න වුණා. මගේ මව්පියෝ මේ සම්පත් ආශාවෙන් රැකගෙන උන්නා. එහෙත් ඒවා මට තබා මියගියා. මමත් කවදා හෝ මියයනවා. එදාට මේ සම්පත් අරන් යන්නේ නෑ. ඉතින් මේවා රැකගෙන ඉඳීමේ ඇති ඵලය කුමක්ද? සිතුණා.

මේ යහපත් බමුණු තරුණයා සියලු සම්පත් දුගී මගී යාචකයන්ට දන් දුන්නා. තපසට යන්න ලැහැස්ති වුණා.

නෑයෝ ඔහු වළක්වාගන්න බොහෝ වෑයම් දැරුවා. ඔහු ඒවා ගණන් ගත්තේ නෑ. හිමාලයට ගියා. තපස් වෘතය රකින්න වුණා. කලක් ගෙවුණා. පංචසිද්ධි සමාපත්තිය උපදවාගත්තා. වනයේම පලවැල කමින් උන්නා. එතුමාට හිතුණා, ලුණු ඇඹුල් ඇති ආහාර ටිකක් වළඳන්න. බරණැසට අහසින් වැඩියා. පිඬුසිඟා යන්න වුණා. රජගෙය ළඟිනුත් ගියා.
බරණැස් රජතුමා සීමැදුරු කවුළුවෙන් පිඬුසිඟා වඩින තවුසා දුටුවා. එතුමන්ගේ ශාන්ත ගමන ගැන රජතුමා පැහැදුණා. දන් දෙන්න හිතුණා. ළඟ උන් ඇමැතිවරයකුට කිව්වා, අර පිඬුසිඟා වඩින තවුසා රජගෙදරට කැඳවාගෙන එන්න.
ඒ ඇමැතියාත් ඉක්මනින් තාපසතුමා ළඟට ගියා.

උතුමාණෙනි! මහරජතුමා ඔබවහන්සේට රජගෙදරට වඩින්න ආරාධනා කළා. කිව්වා.

ඒ කුමකටද? රජතුමා සමඟ මගේ කිසිම කුළුපගකමක් නෑ. ඔබ යන්න. තවුසා කිව්වා.

ඇමැතිවරයා ආපසු ගියා. රජතුමාට තවුසා පැවැසූ දේ කිව්වා.

මට කුළුපග තාපසයන් නෑ. එසේ හෙයින් උන්වහන්සේට රජගෙට වඩින්න කියන්න.

ඇමැතිවරයා යළි තවුසා වෙත ගියා. එ පුවත කිව්වා.

තාපසතුමා රජගෙදරට වැඩියා. රජතුමා අසුන් පැනැවූවා. මිහිරි ආහාරපාන පූජා කළා. අහර කිස නිමවූ පසු තාපසතුමා බණක් දේශනා කළා. රජතුමා තවත් පැහැදුණා. තාපසතුමාට හිමාලයට යළි වඩින්න එපා කිව්වා. මඟුල් උයනේ වැඩහිටින්න කිව්වා. කැඳවාගෙන ගියා. අසපුවක් තැනැවූවා. තාපසතුමාගේ දුක සැප බලන්න උයන්පල්ලාට පැවැරුවා.
ඉන් පසු තාපසතුමා දනට දිනපතාම අහසින් රජගෙට වැඩියා. රජතුමාම දානය පිළියෙළ කර පිදුවා. තාපසතුමා බණකුත් දේශනා කළා.

කාලය මෙසේ ගෙවී ගියා. මේ අතර පසල් දනව්වක කැරුල්ලක් හටගත්තා. ඒ කැරුල්ල මැඩපවත්වන්න රජතුමාට යන්න සිදුවුණා. එතුමාට බාධකය වුණේ තාපසතුමා. එතුමා ගිය පසුව දානය පිළියෙළ කර දෙන්න පවරන්නේ කාටද? කියා සිතුවා. පස්සේ තීරණය කළා, බිසවට පවරන්න. අගමෙහෙසියට කතා කළා. දේවිය මම කැරුල්ල මැඩපවත්වන්න යන්න ඕනෑ. ඔබට දනට වඩින තාපසතුමාට මම වගේම දානය සකස් කර දෙන්න පුළුවන්ද?

ඔබතුමා ඒ ගැන හිතන්න එපා. මම මට හැකි උපරිම ලෙසට දානය දෙන්නම්. බිය සංකා නැතිව යන්න. බිසව කිව්වා. රජතුමා බලසෙන් ගෙන පිටත් වුණා.

අගමෙහෙසිය දනට වැඩිය තවුසාට ඉතා බැතින් දානය පිළියෙළ කර දුන්නා. තවුසාද දන් වළදා බණක් දේශනා කළා. බිසව ඉන් සතුටට පත් වුණා.

මෙසේ දින කිහිපයක් ගතවුණා. දවසක් තාපසතුමා දනට වඩින්න පමා වුණා. අගබිසව දන් පිළියෙළ කර බලා හිටියා. තාපසතුමා නෑ, ප්‍රමාදයි. එතුමිය ගියා දිය නෑමට. දිය නා දුහුල් ඇඳුමක් ඇඳගෙන විවේකව උන්නා.

එකෙණෙහිම තාපසතුමා අහසින් වැඩියා. බිසව කලබල වුණා. ඇඳ සිටිය දුහුල් ඇඳුම ගැන අමතක වුණා. වහා දුව ඇවිත් දන් බෙදුවා.

තවුසාට දුහුල් ඇඳුමෙන් විනිවිදව බිසවගේ රහස් අවයව පෙනුණා. ඒ දෙස බලා හිටියා. සිත විකෘති වුණා. කාමාශාව ඉස්මතු වුණා. එවෙලේම තාපසගේ ධ්‍යානය පිරිහුණා. එසැණින්ම තාපසයා ප්‍රකෘති තත්ත්වයට පත් වුණා. අවයව දැකීමෙන් ඇතිවූ කාමාශාව ගැන ශෝකයට පත් වුණා. දානය වැළඳුවේ නෑ. ආපසු අසපුවට අහසින් එන්න උත්සාහ කළා. ධ්‍යානය පිරිහීම නිසා බැරි වුණා. තවුසා පා ගමනින් අසපුවට වැඩියා. සත් දිනක් නිරාහාරව සිටියා.

රජතුමා කැරැල්ල මැඩපවත්වා ආපසු ආවා. තාපසතුමා දනට නොවඩිනා බව දැනගත්තා. එවෙලේම රාජකීය උයනේ අසපුවට ගියා. ඔබවහන්සේ දනට වඩින්නේ නැත්තේ ඇයිදැයි ඇසුවා.

මහරජතුමනි! දරුණු හී පාරක් වැද මම ශෝක වෙනවා.

රජතුමා පුදුම වුණා. කවුද? ඊ පහර විද්දේ. කෝතුමාල රජතුමා ඇසුවා.

රජතුමනි, මගේ හදවතින්ම ඊය විදගත්තා.

තාපසතුමනි! කුමක්ද? ඒ ඊ පහර. 

කාමරාග නමැති ඊය කියා විස්තරය කිව්වා. රජතුමා කල්පනා කරන්න වුණා. රජතුමනි, ඔබතුමාට කරන්න දෙයක් නෑ. යන්න. ඊය වැදි වුණු තුවාලය මම සුවකරගන්නම්. කිව්වා. රජතුමා ගියා. තවුසා යළි ධ්‍යානයට සමවැදුණා. පංචෂඩ් සමාපත්තිය යළි උපදවාගත්තා. රජතුමා හමුවට අහසින් වැඩියා. රජතුමනි, මිනිස් වාසය මට සුදුසු නෑ. මම හිමාලයට යනවා කිව්වා. අහසින් ගියා.

(සංකප්ප ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක