2019 ජනවාරි 12 වන සෙනසුරාදා

බලෙන් ගන්න බැරි වාසනාව

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 14

බමුණකුට ඕනෑ වුණා අනේපිඬු සිටුතුමාට මෙතරම් සම්පත් ලැබෙන වාසනාව සොයාගන්න. ඔහු සිටුපායට ගියා. සිටුතුමා බමුණා සතුටින් පිළිගත්තා. එතුමා දැන හිටියේ නෑ ඔහු ආව කාරණය. එම නිසා බමුණාට දානය දී ඉහළින් සැලැකුවා. බමුණා දන් වැළඳුවාට නිතර සිටුපාය දෙස විමසිල්ලෙන් උන්නා. ඔහු දැක්කා සුදු කුකුළෙක් බොහෝම සැපට කාමරයක් තුළ ඉන්නවා. සිටුතුමාගේ වාසනාව ඒ කුකුළගේ කරමලේ බව බමුණා දුටුවා. ඔහු සිටුතුමාගෙන් කුකුළා ඉල්ලුවා. දන් දෙන්න ලෝභ නැති සිටුතුමා කුකුළා බමුණාට දුන්නා. ඒත් එක්කම වාසනාව සිටුතුමාගේ ශිරෝ මාණික්‍යයට ගියා. බමුණා එය දැක්කා. ඔහු සිටුතුමාගේ ශිරෝ මාණික්‍ය ඉල්ලුවා. සිටුතුමා ඒකත් දුන්නා.

බමුණා ශිරෝ මාණික්‍ය අතට ගත්තා පමණයි. එහි තිබූ වාසනාව සිටුතුමාගේ දුව ළඟට ගියා. බමුණා පුදුමයට පත්වුණා. කරගත යුත්තක් නැතිව ගියා. සිටු දුව ඉල්ලන්න බෑ. ඉල්ලුවොත් ලැබෙන්නේ නෑ. බොහෝ කරදර විඳින්න වෙනවා. ඔහු කල්පනා කළා. 

'සිටුතුමනි, මට මේ දුන් දේවල් ආපසු ගන්න කිව්වා.'

'ඒ ඇයි?' සිටුතුමා ඇසුවා.

'සිටුතුමනි, මම ආවේ ඔබේ වාසනාව අරගෙන යන්න. ඔබේ වාසනාව පළමුව තිබුණේ මේ කුකුළා ගාව. ඌ මට දුන්නාම එය ශිරෝ මාණික්‍යයට ගියා. එයත් මට දුන්නාම වාසනාව සිටු දුව ගාවට ගියා. ඉතින් සිටු දුව මට ඉල්ලන්න බෑනේ. ඒ හින්දා මම යනවා' කී බමුණු සිටුපායෙන් ගියා.

අනේපිඬු සිටුතුමාට එය මහ ප්‍රහේළිකාවක් වුණා. බුදු හිමියන් හමුවට ගියා. මේ විස්තරය කිව්වා.

'සිටුතුමනි, තමන්ගේ පෙර පිනෙන් ලැබෙන වාසනාව, සම්පත් කිසිවකුට බලෙන් ගන්න බෑ. ගත්තත් එය රැඳෙන්නේ නෑ'යි පවසමින් මේ කතාව වදාළා.

එකල බරණැස් නුවර තාපසයෙක් උන්නා. මේ තාපසයාට නිතර සිව්පසෙන් සංග්‍රහ කළේ එ නුවර රජතුමාගේ ඇත් සේනාව බාර ඇමැතිවරයා.

එදින බරණැස දර විකුණන දිළිඳු මිනිසෙක් උන්නා. මේ මිනිසා දවසක් කැලේ දර කපන්න ගියා. රෑ වෙනකම්ම දර කැපුවා. ඒවා මිටි බැඳගෙන එනකොට හොඳටම රෑ වුණා. ඔහු කැලය අසල තිබූ දේවාලයක එදා රැය නිදාගත්තා. ඒ දේවාලය අසල ගසක කුකුළෝ දෙන්නෙක් උන්නා. ඉන් එකෙක් උන්නේ උඩ අත්තක. අනෙකා හිටියේ ඒ එක්කම පහළ අත්තක. අලුයම උඩ අත්තේ උන් කුකුළා හඬ නගා වර්චස් කළා. ඒ වර්චස් පහළ අත්තේ උන් කුකුළාගේ හිසට වැටුණා. ඌට තරහ ගියා. ඔබ ඇයි මගේ හිසට වසුරු දැමුවේ. ඇසුවා.

මිතුර නෑ නෑ.. මම හිතලා කරපු දෙයක් නොවේ. නොදැන වෙච්ච දෙයක්. උඩු අත්තේ කුකුළා කිව්වා.

ටික වෙලාවක් ගියා. උඩු අත්තේ කුකුළා යළිත් වර්චස් කළා. ඒකත් පහළ අත්තේ කුකුළාගේ හිසට වැටුණා. උගේ කෝපය වැඩි වුණා. උඹ මාව විහිළුවකටද ගන්න හදන්නේ. ඇසුවා.

(ඒ ඇයි?) උඩු අත්තේ කුකුළා ඇසුවා.

ඇයි තමයි. උඹ පළමුව නොදැන වසුරු මගේ හිසට දැම්මා. දැන් දැම්මෙත් නොදැනද? පහත් වැඩ කරන්න එපා කියමින් ඌ බැණ වැදුණා.

උඩු අත්තේ කුකුළත් පසුබැස්සේ නෑ. බැන්නා.

(උඹ දැනගනිං මගේ තත්ත්වය. මගේ මස් කෑවොත් ඒ අයට මසුරං දහසක් ලැබෙනවා.) පහත අත්තේ එකා කිව්වා.
ඕක මොන උසස් තත්ත්වයක්ද? දැනගනිං මගේ මාංශ කෑවොත් එයා රජවෙනවා. එක කෑල්ලක් කෑවොත් සෙනෙවියෙක් වෙනවා. යම් ස්ත්‍රියක් කෑවොත් අගමෙහෙසිය වෙනවා. ඇට මුසු මස් කෑවොත් තාපසයකු වුවද රජතුමාගේ කුළුපගම මිතුරා වෙනවා යැයි කියාගෙන ගියා. මේ කතාව දර කපන්නා අහගෙන උන්නා. හෙමින් සැරේ ගහට නැග්ගා. උඩු අත්තේ කුකුළා අල්ලාගත්තා. ගෙදර ගෙන ආවා. මස් කළා. බිරිඳට කියා කුකුළු මසුයි බතුයි උයවාගත්තා. මෙච්චර වටිනා ආහාරයක් හිස සෝදා නාගෙන කන්න ඕනෑයි සිතුවා. බිරිඳත් සමඟ බත් මස් මුට්ටි අරන් ගඟට ගියා. ඒ මුට්ටි වැල්ලේ තියා නාන්න වුණා. උඩුගඟ වතුර පිරුණා. ඒ වතුර පහළට ගලා ආවා. ගඟේ වතුර වැඩි වුණා. වැල්ලේ තැබූ හට්ටි මුට්ටි ගහගෙන ගියා. දර කපන්නා අපොයි කියා ඔළුවේ අත ගසාගත්තා.

ගඟේ ගහගෙන ආ හට්ටි මුට්ටි රජතුමාගේ ඇතුන් නාවන තැනට ආවා. එක් ඇත්ගොව්වෙක් එය දැක්කා. අරගත්තා. ගිහින් ඇත්සේනාව බාර ඇමැතිතුමාට දුන්නා. ඇමැතිතුමා ඒවා හැර බැලුවා. ඉන් ඉතා ප්‍රණීත සුවඳක් හැමුවා. එය කන්න එතුමාට සිතුණා. ඒ කෑම හට්ටි මුට්ටි ගෙදර ගෙන ගියා.

ඇමැතිතුමා සංග්‍රහ කරන තවුසා දිවැසින් මේ කාර්යය දුටුවා. මස් කෑමෙන් ලැබෙන ප්‍රතිඵලයද දුටුවා. කඩිනමින් ඇමැති ගෙදරට ගියා.

ඇමැතිවරයා තවුසා පිළිගෙන හම්බවුණු බත් මස් බෙදා දානයක් දුන්නා.

මට ඔය මස් එපා. ඇමැතිතුමා හොඳ මස් කන්න. අනික බිසවට දෙන්න. ඇටකටු මිශ්‍ර මස් සමඟ බත් මට දෙන්න කිව්වා. ඇමැතිවරයා එසේ කළා. ඔබ තව දවස් තුනකින් මෙ පුර රජවෙනවා. තාපසයා කිව්වා. යන්න ගියා.

මේ අතර අසල් රාජ්‍යයක රජ කෙනෙක් එ නුවර යටත් කරගන්න බලසෙන් ගෙන ආවා. රජතුමාත් ඇත්සේනා බාර ඇමැතියත් තවත් ඇමැතිවරුත් සතුරන් සමඟ සටනට ගියා. සතුරු හී පහරක් වැද රජතුමා මැරී වැටුණා. සේනාව පසුබසින්න හැදුවා. ඇත්සේනා ඇමැති ඔවුන්ට නායකත්වය දුන්නා. මම තොපට අසීමිත සම්පත් දෙනවා. සටන් කරව් කිව්වා. යළි සටන ඇරැඹුණා. සටනින් දිනුවා. සතුරු සේනා පැරැදී ගියා. රජතුමාගේ ආදාහනය කළා. සියල්ලෝම කිව්වා රට බේරාගත්තේ ඇත්සේනා ඇමැති. එතුමා රජ කළ යුතුයි කියා. ඒ අනුව ඇත්සේනා ඇමැති රජ වුණා. බිරිඳ අගමෙහෙසිය වුණා. රජතුමාගේ කුළුපග තනතුරට තාපසතුමා පත්වුණා. 

ඒ නිසා සිටුතුමනි, වාසනාව බලෙන් සොරකමෙන් ගන්න බෑ. පින අනුව තමයි ලැබෙන්නේ. බුදුන් වදාළා.

(සිරි ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක 

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30