2019 ජනවාරි 05 වන සෙනසුරාදා

නව සන්ධානයට පොහොට්ටුවේ යෝජනා බාරදෙයි

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

දේශපාලන වාර්තාකරු I

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සන්ධාන ගතවීම සඳහා පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන යෝජනා එ.ජා.නි.ස. මහලේකම් මහින්ද අමරවීර මහතාට මේ සතියේ බාරදෙනු ලැබීය. 

ඊට පෙර මහින්ද අමරවීර මහතාත් බැසිල් රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන මහත්වරුත් මුණගැසී එයට අදාළ මූලික සාකච්ඡාවක්ද පැවැත්වූහ.

දේශයට වාර්තාවන ආකාරයට සන්ධානගතවීම සඳහා පොහොට්ටුවෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා අනුව නව සන්ධානයේ නායක තනතුර සහ සභාපති තනතුර සඳහා සුදුස්සන් තෝරාගන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් විසින් කරනු ලබන විශේෂ සාකච්ඡාවකදීය. ඒ හැර නව සන්ධානයේ ලේකම් ධූරය සහ භාණ්ඩාගාරික ධූරය පොහොට්ටුවට ලබාදෙන ලෙස යෝජනා කර තිබේ.

සන්ධාන විධායක සභාවට සාමාජිකයන් පත්කිරීම අවසන් වරට පැවති පළාත් පාලන මැතිවරණයේ දී ඒ ඒ දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව සිදුවිය යුතුයැයිද මෙම යෝජනාවල සඳහන් වෙයි.

මෙම සියලු යෝජනා පිළිබඳ අවසන් තීරණ ගැනෙන්නේ දෙපක්ෂය එක්ව කරනු ලබන සාකච්ඡාවකින් පසුව යැයිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. කෙසේ හෝ ලබන පෙබරවාරිය වනවිට නව සන්ධානය ස්ථාපිත කිරීම දෙපක්ෂයේ අරමුණ බව සඳහන් වෙයි.