2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

මහින්දගේ පෙත්සම විභාගයට අවසර : අතුරු තහනම දිගටම

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

සංජීවිකා සමරතුංග I

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩලය තනතුරු දැරීම වළක්වමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව රාජපක්ෂ මහතා ගොනුකළ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා අවසර දුන්නේය. එහෙත් කැබිනට් මණ්ඩලයට පනවා ඇති අතුරු තහනම් නියෝගය නඩු විභාගය හමාර වනතුරු ක්‍රියාත්මක කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර ඇත.

මෙම නඩුව විභාග කිරීම සම්බන්ධයෙන් ලබාදුන්නේ බෙදුණු තීන්දුවකි. විනිශ්චය මණ්ඩලයේ සභාපතිනි ඊවා වනසුන්දර මහත්මිය සහ විනිසුරු බුවනක අළුවිහාරේ මහතා පෙත්සම විභාග කිරීමට අවසර දිය යුතු යැයි තීන්දු කළහ. විනිසුරු විජිත් මලල්ගොඩ මහතා නීතිමය හේතු මත ඊට එකඟ නොවිය හැකි බව ප්‍රකාශ කළේය.

ඒ අතර අභියාචනාධිකරණයට විශේෂ නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම විභාග කර හමාර වනතෙක් අභියාචනාධිකරණයේ අදාළ නඩු විභාගය නතර කළ යුතු බව ප්‍රකාශ කළේය. නඩුවේ විභාගය ජනවාරි මස 16.17 සහ 18 තෙදිනට පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබීය.