2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

සිංගප්පූරු ගිවිසුම : නීතිපති උපදෙස් කඩලා

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 155

I සංජීවිකා සමරතුංග

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේදී නීතිපතිවරයා ලබා දී තිබූ උපදෙස් උල්ලංඝණය කර ඇතැයි ඒ ගැන සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව හා ඊට අදාළ සෙසු අමාත්‍යංශවල උපදෙස් අනුගමනය කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබුණ ද ඒ ගැන විධිමත් පියවර ගෙන නැතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.

එසේම කැබිනට්ටුවෙන් ගිවිසුම සඳහා අවසරය ලබාගත්ත ද ගිවිසුම අත්සන් කළ පසු ආණ්ඩුව අත්සන් කළ ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබා නොගැනීම වරදක් බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ය. මේ හැර ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකාව ද්වීපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් වෙනුවට බහු පාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වලට යා යුතු බවද කොමිසම සඳහන් කර තිබේ. 

මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පෙර ගිවිසුම පූර්ණ සමාලෝචනයකට ලක් කළ යුතු බව වැඩිදුරටත් වාර්තා කර ඇත. ජනාධිපතිවරයා විසින් සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කොමිසමේ සභාපතීත්වය දැරුවේ කොළඹ කරසවියේ හිටපු උප කුලපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ය.

සෙසු සාමාජිකයන් වූයේ මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ආචාර්ය ජයනාත් ජයසේකර සහ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආර්.ඒ. ජයතිස්ස යන මහත්ම මහත්මීන්ය.