2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

වතුකරේ පඩි වලියක්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

I සකීෆ් තන්වීරි

වතු කම්කරුවන් සහ වතු නිලධාරීන් මුහුණ පා සිටින වැටුප් අර්බුදයට විසඳුමක් ඉල්ලා වතු කම්කරුවන් සහ වතු සේවා නිලධාරීන් වැඩ වර්ජනයකට සූදානම් වන බව දේශයට වාර්තා වෙයි. වතුකම්කරු ජනතාවට සාමූහික ගිවිසුමට අනුව හිමිවිය යුතු රුපියල් 140/-ක දෛනික දිරි දීමනාව නිසි පරිදි ලබානොදීම හා වතු නිලධාරීන් ඉල්ලා සිටි 40 ක වැටුප් වැඩිවීම ලබා නොදීම නිසා මෙලෙස වැඩ වර්ජනයකට සූදානම් වන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

දැනට ක්‍රියාත්මක ප්‍රධාන වතු සමාගම් 21න් 6ක් පමණක් නියමිත පරිදි සාමූහික ගිවිසුම අත්සන් කොට වතු කම්කරු ජනතාවට හිමි දීමනා මුදල් ලබාදීම සිදු කරන බව මේ ගැන කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා වෙත ලැබී තිබෙන පැමිණිලිවල සඳහන්ය. දිනපතා එක් කම්කරැවකුට නෙළීමට පවරා ඇති දළුවල බර සලකා මෙම දිරි දීමනාව ගෙවීම සාමූහික ගිවිසුම අනුව සිදුකළ යුතුය.

වතු නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන් සාමූහික ගිවිසුම අවසන් වරට අත්සන් කරන ලද්දේ 2013 වසර දීය. එම ගිවිසුම පසුගිය ඔක්තෝම්බර් මස අලුත් කිරීමට නියමිත විය. නමුත් හාම්පුතුන්ගේ සංගමය ගිවිසුම අත්සන් කිරීම පැහැර හැරීම නිසා වතු නිලධාරීන්ට වතු කම්කරැවන්ටත් වඩා අඩු වැටුපක් ලැබීමට සිදුව ඇතැයි වතු සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සභාපති ධම්මික ජයවර්ධන මහතා සඳහන් කළේය. 

නිලධාරීන්ට හිමිවිය යුතු වැටුප් වැඩිවීම සාකච්ඡාවෙන් විසඳාගැනීමට තම සංගමය සූදානම් බවත් හාම්පුතුන්ගේ සංගමය යහපත් පිළිතුරක් නොදුනහොත් දැඩි තීරණයක් ගැනීමට සිදුවන බවත් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. ඒ අතර කම්කරු වැටුප් ප්‍රශ්නය ගැන විමසීමට කම්කරු අමාත්‍යවරයා ලබන සතියේ සාමූහික ගිවිසුම අත්සන් නොකළ වතු සමාගම් සිය අමාත්‍යංශයට කැඳවීමට නිමිත බවද කිය වේ.