2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

ක්ෂණික විශ්වාසභංග පිළිගන්නේ නෑ - මහින්ද රාජපක්ෂ

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 145

දේශපාලන වාර්තාකරු I

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනිව සම්මත කරන ක්ෂණික විශ්වාසභංග යෝජනා තමන් නොපිළිගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් දේශයට පැවසීය.

එහෙත් ස්ථාවර නියෝගවලට සහ මැති සබා සම්ප්‍රදායට මෙන්ම රීතිවලට එකඟව න්‍යාය පත්‍රයට ඇතුළත් කොට නිශ්චිත කාලයක් තුළ විශ්වාසභංගයක් සම්මත කළහොත් එවිට තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරන බව ඔහු සඳහන් කළේය. තමන් 1970 වසරේ සිට පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන හොඳින් දන්නා බව ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ මහතා තමා ප්‍රජාතන්ත්‍රවාදයට  සහ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්නේ නැතැයි ද කීය. එහෙත් විපක්ෂය කියන කියන ආකාරයට තනතුරින් ඉවත්වීමට සූදානම් නැති බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

කතානායකවරයා සම්ප්‍රදායට හා නීති රීතිවලට ගරු කරමින් විධිමත් පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවශ්‍ය පියවර ගතයුතු යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහෙත් ඒ සියල්ල සිදු කළ යුත්තේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන නඩු තීන්දුවෙන් පසුවයැයි ද ඔහු සඳහන් කළේය.