2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

පොලිස් මාරුවීම් ගැන තානාපතිලාත් විමසලා

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 267

I දේශපාලන වාර්තාකරු

රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා හදිසියේම මීගමු පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරු කිරීම ගැන ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනියත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාත් ආරක්ෂක ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

මේ සඳහා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මුණගැසීමට කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා ආරක්ෂක අමාත්‍යංශයට පැමිණි අතර ඇමෙරිකානු තානාපතිනිය දුරකතනයෙන් කරුණු විමසූ බව තානාපති අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකුගේ ස්ථාන මාරුවක් බව කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර ඇති ආරක්ෂක ලේකම්වරයා අදාළ මාරුවීම අත්හිටුවා කරුණු විමසා බැලීමට තීරණය කළේය. ඒ අනුව පොලිස්පතිවරයාට ආරක්ෂක ලේකම්වරයා දුන් නියෝගය අනුව නිශාන්ත ද සිල්වා මහතාගේ මාරුවීම අත්හිටවිණි.