2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

පොලිස්පති තීන්දුව විනය විභාගෙන් පසුව

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 506

I සංජීවිකා සමරතුංග

වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර තීන්දු කරන්නේ දැනට ඔහු පිළිබඳව රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය අමාත්‍යංශය පවත්වන ඉහළ පෙළේ විනය පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව බව නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

පොලිස්පතිවරයා තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා නීතිය හා සාමය අමාත්‍යවරයාට මෙයට පෙර වාර ගණනාවක්ම දන්වා තිබුණි. ඒ ගැන අග්‍රාමාත්‍යවරයාද දැනුම්වත් කළ බව කියැවිණි. එහෙත් යට කී පරීක්ෂණය හමාර කර වාර්තාව ලබාදෙන තුරු මේ ගැන තීන්දුවක් ගත නොහැකි බව ආණ්ඩුවේ මතයයි.

පොලිස්පතිවරයා මහනුවර ප්‍රධාන පෙළේ පාසලකින් රැපියල් මිලියන 12ක මුදලක් ලබාගෙන ඇති බවට එල්ල වූ චෝදනාව ගැන විමසීමට රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාලා බස්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු පරීක්ෂණ කමිටුවෙන් පරීක්ෂණයක් කෙරෙමින් පවතී. එම කමිටුව වෙත පැමිණි පොලිස්පතිවරයාද සාක්ෂි ලබාදී තිබුණි. තවත් සති කිහිපයකින් මෙහි පරීක්ෂණ වාර්තාව අමාත්‍යංශයට ලැබීමට නියමිත බව කියැවේ.