2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

මහින්ද අගමැති

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:32 223

දේශපාලන වාර්තාකරු l

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිකුරාදා රාත්‍රියේ 7.30ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඊට ටික වේලාවකට පෙර මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හා විශේෂ සාකච්ඡාවක් කර  තිබේ. එම සාකච්ඡාවේදී වත්මන් රජයෙන් එජනිසය ඉවත්විය යුතු බව තීන්දු කර ඇත. 

එම තීන්දුව එජනිස මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ.

ඒ සමග මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ සියලු නායකයන් සිය නිල නිවසට කැඳවා හදිසි සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාවේදී රජයක් පිහිටුවීමට ඇති කැමැත්ත පිළිබඳව රාජපක්ෂ මහතා සෙසු නායකයන්ගෙන් මතය විමසා තිබේ. පක්ෂ නායකයන්ගේ එකඟත්වය මත පක්ෂ නායකයන්ද සමඟ ඒ මොහොතේ ජනාධිපති කාර්යාලයට ගිය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමග කෙටි වේලාවක් සාකච්ඡා කර ඇත.

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ ශ්‍රීලනිපය යහපාලන රජයෙන් ඉවත් වී ඇති නිසා ඔබට නව රජයක් පිහිටුවීමට හැකියාවක් ඇතිදැයි කියාය. තමන්ට රජයක් පිහිටුවීමේ හැකියාව ගැන ප්‍රතිඥා දීමෙන් පසු ඒ මොහොතේම රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන ලෙස ජනාධිපතිවරයා ආරාධනා කළේය.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. එම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු නායකයන් සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඇතුළු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාද එක්ව සිටියහ.