2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

මලික් දුමින්ද සාම කතාවක

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

I ගයාන් ගාල්ලගේ

යහපාලන රජය තව දුරටත් ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.පයේ සහ එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අතර නිල නොවන මට්ටමේ රහසිගත සාකච්ඡා වට කිහිපයක් ආරම්භ වී ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ සඳහා එ.ජා.ප.යෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාත්, ශ්‍රී.ල.නි.ප.යෙන් දුමින්ද දිසානායක මහතාත් නායකත්වය ගෙන ඇතැ‍යි සඳහන් වේ. ඊට අමතරව යහපාලන රජය පිහිටුවීමේදී පෙරමුණ ගෙන ක්‍රියා කළ පිරිසක් ද මේ අතර සිටිනා බව සඳහන්ය.

දැනට පක්ෂ දෙකේ ඉහළ නායකත්වයන් අතර ඇතිව තිබෙන සිත් පළුදුවීම් මකා දැමීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ ඇත. ඉන් අනතුරුව 2025 තෙක් ආණ්ඩුව රැගෙන යාම සඳහා දෙපාර්ශවය විසින් පැමිණිය යුතු එකඟතාවයන් ගැන ද සාකච්ඡා කර ඇත.

එහෙත් එ.ජා.ප.ය නියෝජනය කළ ‍ජ්‍යෙෂ්ඨයන් පවසා ඇත්තේ මේ ආණ්ඩු සමයෙන් පසු ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගැන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකින් හෝ පක්ෂ සමුළුවකින් පසුව තීරණය ගත යුතු බවය. විශේෂයෙන් තමන්ගේ පාක්ෂිකයන්ගේ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවටත් එම ජ්‍යොෂ්ඨයන් පවසා ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.