2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

රජයේ සේවක යතුරු පැදිවල ලියැවිලි ගල්වෙයි

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 116

I ගයාන් ගාල්ලගේ

පසුගිය රජය විසින් රුපියල් 50000ක මුදලට රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදුන් යතුරුපැදි  සහන වැඩසටහන යටතේ ලබා ගත් යතුරු පැදි 2200ක පමණ තොරතුරු ඇතුළත් ලියකියවිලි මුදල් අමාත්‍යංශයෙන් අතුරුදන්ව ඇතැයි එම අමාත්‍යංශයේ ජ්‍යොෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසීය.

මේ නිසා රජයෙන් එම යතුරුපැදි සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 31ක පමණ මුදලක් තවමත් එක්තරා රාජ්‍ය බැංකුවකට ගෙවීමට නොහැකි වී ඇති බව හෙතෙම සඳහන් කළේය. එක් යතුරු පැදියක් සඳහා රජයෙන් රුපියල් 150000කට ආසන්න මුදලක් දැරීමට සිදුවී ඇති අතර එම මුදල ගෙවා ඇත්තේ එකී රාජ්‍ය බැංකුව මගිනි. එහෙත් යතුරු පැදි ලබාගත් පුද්ගලයන්ගේ ලැයිස්තුව මුදල් අමාත්‍යංශය සතුව තිබී ඇති අතර එය අතුරුදන්ව ඇතැයි සඳහන් වේ.
කෙසේ වෙතත් මේ වනවිට නැවත අදාළ තොරතුරු රැස් කරමින් පවතින අතර බැංකුවට ගෙවිය යුතු මුදල් ද කොටස් වශයෙන් ගෙවීමට මුදල් අමාත්‍යංශය පියවර ගනිමින් සිටින බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.