2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

මැතිව්ස් ඉවතට!

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 383

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම මස ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය තීන්දුකර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් ගණනාවකගෙන් ක්‍රිකට් තේරීම් කමිටුවටත් පාලක මණ්ඩලයටත් දිගින් දිගටම ලැබුණු පැමිණිලි රැසක් සමාලෝචනයෙන් පසු මෙම තීරණයට එළඹ තිබේ. මෙලෙස ඇතැම් පැමිණිලි ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පවසා ඇත්තේ මැතිව්ස් යටතේ තමන්ට විදේශීය ක්‍රිකට් සංචාරවල යෙදිය නොහැකි බව යැයි වැඩිදුරටත් වාර්තාවේ.

ඒ අනුව නායකත්වය වෙනස් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුවත් ක්‍රිකට් ආයතනයත් තීන්දු කර ඇත්තේ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවය. මෙම මස අවසානයට පෙර නව ක්‍රිකට් නායකයින් නම් කෙරෙන අතර ඉදිරි බංග්ලාදේශ - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය නව නායකයන් යටතේ පැවැත්වෙනු ඇති බවද සඳහන්ය.

ඉදිරියේදී ටෙස්ට් ක්‍රිකට් සඳහා එක් නායකයකුද සීමිත ඕවර තරග සඳහා තවත් නායකයකුද නම් කෙරෙනු ඇතැයි කියවේ. නව නායක තනතුරු සඳහා නම් 4ක් යෝජනා වී ඇත. දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, උපුල් තරංග සහ ලසිත් මාලිංග එම යෝජිත ක්‍රීඩකයන්ය. එයින් වඩාත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකුට ටෙස්ට් සහ සීමිත ඕවර තරග නායකත්වය පිරිනැමීම සිදුකෙරේ. වසර 2013 සිට වසර තුනකට වැඩි කාලයක් ක්‍රිකට් නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩාකරනු ඇත.

ක්‍රීඩා වාර්තාකරු |