2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

ඩී.අයි.ජී. හඬ පටය සිංගප්පූරුවට

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 502

ගයාන් ගාල්ලගේ l

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේයැයි චෝදනා ලබා සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ රහසිගත දුරකථන සංවාදය අයත් හඬපටය සිංගප්පුරුවේ ශ්‍රව්‍ය දෘශ්‍ය විශේෂඥයන් වෙත යවා සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ සඳහා ඉදිරි සතියේදී අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමටද නියමිතව ඇතැයි සඳහන් වේ.

දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ පොලිස් ඔත්තුකරුවකු බව කියන නාමල් කුමාර අතර සිදුවූ ආන්දෝලනාත්මක දුරකථන සංවාදය මෙරට දේශපාලන අංශ දැඩි කැළඹීමකට ලක්කර තිබේ. මෙයට අදාළ හඬපටය මූලික පරීක්ෂණ සඳහා දැනටමත් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ.

මේ සම්බන්ධව පසුගිය බදාදා රාත්‍රියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශාපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සාකච්ඡාවේදී අර්බුදයට තුඩුදී තිබෙන දුරකතන සංවාදය ඇතුළු දේශපාලන ප්‍රශ්න ගණනාවක් සම්බන්ධව අදහස් හුවමාරු කරගත් බව වාර්තාවේ.