2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

අයවැය පරද්දන්න රහස් කතා

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 500

I දේශපාලන වාර්තාකරු

ලබන නොවැම්බරයේ මැතිසබයට ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනය පරාජයට පත් කරවීම සඳහා ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් ගණනාවක් සුළු පක්ෂ කිහිපයක් සමඟ රහසිගත සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වේ.

2019 වසර සඳහා වන අයවැය ලේඛනය නොවැම්බර් මස දෙවැනි සතියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රීල.නි.ප.යෙන් මන්ත්‍රීන් 15 දෙනෙක් ඉවත්ව ඒකාබද්ධය සමඟ එක්වීමෙන් පසු දැන් එහි මන්ත්‍රී සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් ඇති නිසා මැතිසබය නියෝජනය කරන තවත් ශ්‍රීල.නි.ප මන්ත්‍රීන් පිරිසකගේ හා සුළු පක්ෂ තුනක සහාය ලබාගැනීම සඳහා මෙම සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් වෙයි. ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨම සාමාජික පිරිසක් හා ළඟදී ශ්‍රීල.නි.ප.යෙන් ඒකාබද්ධයට පැමිණි ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙක්ද මෙකී සාකච්ඡා සඳහා සහභාගී වෙති.

මේ සම්බන්ධව දැනටමත් අදාළ පිරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟද අදහස් හුවමාරු කරගෙන තිබේ. ලබන මස මුල් සතියේ අමෙරිකාවේ සිට බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු මෙම සාකච්ඡා වඩාත් පුළුල් ලෙස සිදුකිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂය කියයි.