2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

තෙල් ඇමැතිට කොකා පෙන්වූ සංස්ථා ලොක්කාට කොක්කක්

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

I ගයාන් ගාල්ලගේ

ඇතැම් තෙල් පිරවුම්හල් විසින් පාරිභෝගිකයන්හට සිදුකරන වංචා සම්බන්ධ පරීක්ෂණවලදී පිරවුම්හලට උදව් උපකාර කොට එකී අදාළ පරීක්ෂණ යටගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළම නිලධාරියකු සහ විෂය භාර අමාත්‍යවරයා අතර ගැටුමක් ඇතිවී බව වාර්තාවේ.

අමාත්‍යවරයාගේ ඉතා සමීපතමයකු වන මෙම නිලධාරියා අමාත්‍යවරයා විසින් සිදුකරන පරීක්ෂණ පවා නවතා දැමීමට මැදිහත් වී තිබීම මෙම ගැටුමට මූලික වී ඇත.

පසුගියදා හලාවත ප්‍රදේශයේ පිහිටි සංස්ථාවට අයත් තෙල් පිරවුම් හලක සිදුවන වංචාවක් වැටලීම සඳහා අමාත්‍යවරයා යටතෙහි වූ විමර්ශන ඒකකය ගොස් තිබේ. කෙසේ වෙතත් එම ස්ථානය සංස්ථාවේ ඉහළ නිලධාරියාගේ සමීපතමයකුගේ නිසා නැවත විමර්ශන කණ්ඩායම කොළඹට කැඳවා ඇත. එසේම විමර්ශන නිලධාරියකුගේ වැඩද තහනම් කිරීමට එම ඉහළ නිලධාරියා පියවරගෙන ඇත. මෙම සිද්ධිය හේතු කොටගෙන අමාත්‍යවරයා සහ ඉහළ නිලධාරියා අතර ගැටුම උග්‍ර වී ඇතැයි සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් විශේෂ පරීක්ෂණයක් ද දැනටමත් ආරම්භ කර තිබේ.