2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

කොතලාවල පීඨයට තේරුණු සයිටම් සිසුවෝ ලෝක අමාරුවක

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

I සමන්ත ප්‍රදීප් විල්තෙර

අර්බුදයකට ලක්වී තිබූ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අලුතින් ඇතුළත් කළ පසු එක් අයකු වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 1350,000ක මුදලක් ගෙවන ලෙස කොතලාවල වෛද්‍ය පීඨය සයිටම් සිසුන්ට දැනුම් දී තිබේ.

එහෙත් මෙම සිසු සිසුවියන් මෙයට පෙර සයිටම් වෛද්‍ය පීඨයට වසර පහේ අධ්‍යාපන ගාස්තු ලෙස රුපියල් 800,000ක පමණ මුදලක් ගෙවා ඇතැයි එම ශිෂ්‍ය සංගමය පවසයි. එසේම පසුගිය කාලයේ අ.පො.ස උ/පෙළ විභාගයේ ඉහළ ප්‍රතිඵල ලැබී තිබුණු සිසු සිසුවියන් වෙනුවෙන් ප්‍රදානය කර තිබූ ශිෂ්‍යත්වද අවලංගු කර ඇතැයිද ඔවුහු පවසති. මෙයින් ඇතැම් සිසුන් වසර පහක පූර්ණ වෛද්‍ය පාඨමාලාවේ වසර 2, 3, 4 ආදී වශයෙන් අධ්‍යාපනය ලබා ඇත. ඒ හැම කෙනෙක්ම ඉදිරි වර්ෂ සඳහා රුපියල් 1350,000 මුදලක් සහ මේ වසරේ මාස පහක් සඳහා රුපියල් 750,000ක් ගෙවිය යුතු බවද දැනුම් දී ඇත.

මේ ආකාරයට දෙවරක් සයිටම් සිසුන්ට මුදල් ගෙවන්නට සිදුවීම නිසා ඔවුන් බරපතළ ආර්ථික අර්බුදයකට ගොදුරු වී සිටින බව වාර්තා වේ. මෙලෙස දෙවරක් මුදල් ගෙවීමට සිදුව ඇති සිසු සිසුවියන් ගණන 734 දෙනෙකි. මෙම ප්‍රශ්නය සමථයකට පත් කිරීමට වහා රජය මැදිහත් විය යුතු බව සයිටම් ශිෂ්‍ය සංගමය ජනපති හා අගමැති ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිති.