2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

උතුරේ ඡන්ද වෙන්දේසිය ලන්ඩනයේ

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 220

I දේශපාලන වාර්තාකරු

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණාත්මක වන උතුරේ දෙමළ ඡන්ද භාවිත කළ යුත්තේ කුමන අපේක්ෂකයාටද යන්න තීන්දු කිරීමට උතුරේ ප්‍රධානම දේශපාලන පක්ෂ නායකයන් ලන්ඩනයට කැඳවා ජාත්‍යන්තර දෙමළ මතවාදීන්ගේ සමුළුවක් පැවැත්වීමට සැලසුම් කෙරෙමින් පවතී.

බ්‍රිටිෂ් ටැමිල්ෆෝරම් සංවිධානය විසින් මෙහෙයවනු ලබන මෙම සමුළුව ලබන ඔක්තෝබර් මස මැද භාගයේ පැවැත්වීමට අපේක්ෂිතය. මෙකී සමුළුව සඳහා බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් සංවිධානය උතුරේ දේශපාලන පක්ෂ නායකයන් ගණනාවකට ඇරයුම් කර තිබේ. දෙමළ ජාතික සන්ධානය, ඊ.පී.ආර්.එල්.එෆ්., ටෙලෝ, ප්ලොට් දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂවලට අමතරව උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ටද මේ වනවිටත් ඊට ඇරුයුම් කර ඇතැයි සඳහන් වේ.

දැනට අප වෙත ලැබී ඇති වාර්තා අනුව ලන්ඩන් මහ සමුළුවට එම්.ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේෂ්වරන්, ඩී. සිද්ධාර්ථන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්වම් අඩෛක්කලනාදන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන පක්ෂ නායකයන් සහභාගි වනු ඇත.

මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට යන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි සම්පන්නව එක් මතයක් වෙනුවෙන් පෙනී සිටීමේ ක්‍රමවේදයක් ගැනයි. ඒ අනුව පොදුවේ උතුරේ ජනතාව තමන්ගේ අභිලාෂයන් ඉටුකරවා ගත හැකි අපේක්ෂකයකුට සහය දීමට තීන්දු කිරීම සමුළුවේ අප්‍රකාශිත අරමුණ බව දැනගන්නට ඇත.