2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

හකීම්-බදියුදීන්ගෙන් අවසන් නිවේදනයක්

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 266

I දේශපාලන වාර්තාකරු

රජය විසින් දිගින් දිගටම කල් දමමින් සිටින පළාත් සභා ඡන්දය අර්බුදකාරී නව මැතිවරණ ක්‍රමය යටතේ පවත්වන්නේ නම් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හා ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයට රජයෙන් ඉවත්වන ලෙසට පක්ෂ අභ්‍යන්තරයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

මෙම පක්ෂ දෙකේ නායකත්වය දරන්නේ අමාත්‍ය රවුෆ් හකීම් යන අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ය. පසුගිය කාලයේ මුස්ලිම් කොංග්‍රසය විසින් පාලනය කරන ලද නැගෙනහිර පළාත් සභාව අක්‍රියවීම නිසා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වසරකට වැඩි කාලයක් අත්හිටුවී තිබේ. ප්‍රදේශයේ මුස්ලිම් ජාතික මන්ත්‍රීන් මේ හේතුවෙන් යට කී පක්ෂ දෙකට දැඩි ලෙස බලපෑම් කර ඇත්තේ පැරණි මනාප ක්‍රමයට ඡන්දය පවත්වන ලෙස අවසන් වරට රජයෙන් ඉල්ලා සිටින ලෙසයි.

ඒ අතර රවුෆ් හකීම් හා රිෂාඩ් බදුයුදීන් යන අමාත්‍යවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟත් බැසිල් රාජපක්ෂ මහතා සමඟත් මේ ගැන දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටින බව දැනගන්නට තිබේ. සුළු පක්ෂ නායකයන් වන මනෝ ගනේෂන් ද මනාප ක්‍රමයට කැමැත්ත පළකර තිබේ. ඒකාබද්ධ විපක්ෂයද එම ඡන්ද ක්‍රමයට හෝ වහාම පළාත් සභා ඡන්දය පවත්වන ලෙස දන්වා ඇත.

මේ වසර හමාර වනවිට පළාත් සභා හයක නිල කාලය හමාරය. උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා එම සභා 6යි.