2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

විදුලිය මිලදී ගැනීම් : විගණකාධිපති, වැඩේට අත ගසයි

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

චමිඳු නිසල් ද සිල්වා l

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම ගැන විගණකාධිපතිවරයා විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මණ්ඩලය විසින් පසුගිය කාලයේ කළ විදුලිය මිලදී ගැනීම් පිළිබඳව ඊට වගකිව යුතු බලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු කෝප් කමිටුව ද (පොදු ව්‍යාපාර කාරක සභාව) ලබන අඟහරුවාදා විශේෂ රුස්වීමක් පැවැත්වීමට නියමිතය.

ඇතැම් විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම පිළිගත් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සිදු කර ඇතැයි රජයට පැමිණිලි ලැබී තිබිණි. එසේ වුවත් විදුලිය මිලදී ගැනීම සිදුකර ඇති අතර  ඊට රුපියල් කෝටි අසූ පහක ගෙවීමක් විදුලිබල අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිර්දේශ කර ඇත.

විදුලි බල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේදී ඒකකයකට ගෙවන මිල සහ ඊට අදාළ ගිවිසුම් සම්බන්දයෙන් කෝප් සභාව විදුලිබල ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි. එසේම මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ද අඟහරැවාදා කෝප් සභාවට ඉදිරිපත් කරනු ඇතැයි කියවේ.