2018 ජුලි 28 වන සෙනසුරාදා

මනාප ක්‍රමය ඉල්ලා පොදුජන පෙරමුණ නඩු මඟට

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

I සංජීවිකා සමරතුංග

ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි මැතිවරණ ක්‍රමයට (මනාප ක්‍රමයට) පවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර ඇත.

දේශය මේ පුවත ගැන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන්  විමසූ විට ඔහු සඳහන් කළේ දැනට ක්‍රියාත්මක වන අර්ථ නිරූපණ පනතේ හයවැනි වගන්තිය අනුව මෙම පියවර ගන්නා බවය. එම වගන්තිය අනුව කිසියම් නීතියක් අහෝසි කරමින් නව නීතියක් පැනවුවද එය ක්‍රියාත්මක නොවන්නේ නම් එවිට බලපවත්නේ පැරැණි නීතියම බව මහාචාර්ය වරයා සඳහන් කළේය. එබැවින් මනාප ඡන්ද ක්‍රමය වෙනුවට නව පනතින් සම්මත කළ අලුත් ඡන්ද ක්‍රමය මෙතෙක් ක්‍රියාවට නංවා නැති නිසා පැරැණි මනාප ක්‍රමයට පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු යැයි ඔහු පැවසීය.

යම් හෙයකින් රජයට අලුත් ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ නම් අලුත් ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය වාර්තාව මැතිසබයේ සම්මත කරගත යුතු බවද එසේ නොකර ඡන්දය පවත්වන්නේ නම් එම මැතිවරණ මනාප ක්‍රමයටම පවත්වන්නට සිදුවන නිසා ඊට අදාළ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් තම පක්ෂය උසාවි යන බවද මහාචාර්ය පීරිස් වැඩිදුරටත් කීය.