2018 ජුලි 21 වන සෙනසුරාදා

බොරු වාර්තාවක් ව්‍යවස්ථා කමිටුවේ අලි ගෝරියක්

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 229

ගයාන් ගාල්ලගේ l

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත්කර තිබෙන ස්ථාවර පාර්ලිමේන්තු කමිටුවට ඉදිරිපත් කළ විශේෂඥ කමිටු වාර්තාව ඒ සඳහා පත්කර ඇති විශේෂඥයන්ගේ වාර්තාවක් නොවන බවට කරුණු ඉදිරිපත් කිරීමත් සමඟ ව්‍යවස්ථා සම්පාදන ස්ථාවර කමිටුවේ දැඩි නොසන්සුන්තාවයක් පසුගියදා හටගෙන තිබේ.

මෙම නොසන්සුතාව හටගත්තේ පසුගිය අඟහරුවාදා ව්‍යවස්ථා සම්පාදක ස්ථාවර කමිටුව රැස් වූ අවස්ථාවේදී බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා දේශයට පැවසීය. නව ව්‍යවස්ථාව සඳහා වන විශේෂඥයන්ගේ යෝජනාවලට ඇතුළත් ලියවිල්ලට අත්සන් තබා තිබුණේ එම කමිටුවේ සිටින විද්වතුන් 10 දෙනකුගෙන් 06 දෙනෙක් පමණි. ඉතිරි සිව්දෙනා අත්සන් නොකර තිබීමද විශේෂත්වයකි.

විධායක ජනාධිපතිවරයා ඉවත් කළයුතු ආකාරය පළාත් සභා මන්ත්‍රීවරුන් අතරින් සෙනෙට් මන්ත්‍රීවරු තෝරා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් සෑදීම ආදී බරපතළ ව්‍යවස්ථා වෙනස්කම් ඇතුළත් යෝජනා එහි අන්තර්ගත විය.

එහෙත් මෙම ලියැවිල්ලට අත්සන් තබා තිබූ ඇතැම් විද්වතුන්ගේ අත්සන් ගැන එහි සාමාජික මහාචාර්ය කාමෙනා ගුණරත්න මහත්මිය විරෝධය පළකර තිබුණි. මේ වාර්තාව තමා ඇතුළු විද්වත් මණ්ඩලය සකස් කළ දෙයක් නොවන බවත් එනිසා තමන්ගේ දැනුම හෑල්ලු නොකරන ලෙසත් ඇය කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත. මෙහි අත්සන් කර ඇති එක් විද්වතෙක් මාස 06 කින් ලංකාවට පැමිණ නැති බවද හෙළිවී තිබේ. මෙම විවාදය මතුවූයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වාර්තාවේ සැබෑ කර්තෘවරුන් කවුදැයි ප්‍රශ්න කළ විටදීය. එය සකසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සුමන්දිරන් සහ ජයම්පති වික්‍රමරත්න මහත්වරුන් බව පසුව හෙළි වූ බවත් මන්ත්‍රීවරයා දේශයට කීය. මේ ගැන කරන ලද විමසීම් හමුවේ එම්.ඒ. සුමන්තිරන් හා ජයම්පති වික්‍රමරත්න මහත්වරුන් පිළිගෙන ඇත්තේ වාර්තාවෙන් අඩක් තමන් සකස් කළ බවය.

පසුව චම්පික රණවක, ඩිලාන් පෙරේරා සහ ප්‍රසන්න රණතුංග යන ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු වාර්තාව තරයේ විවේචනය කරමින් එය පිළිගත නොහැකි බව ප්‍රකාශ කළහ. එහෙත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ජවිපෙ සාමාජිකයන් වන නායක අනුර කුමාර දිසානායක සහ බිමල් රත්නායක යන මන්ත්‍රීවරුන් කිසිදු විරෝධතාවයක් ප්‍රකාශ කර නැත.