2018 ජුලි 14 වන සෙනසුරාදා

තෙල් මිලේ අයිතිය අර්ජුන ඉල්ලයි

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

I ගයාන් ගාල්ලගේ

ඛනිජ තෙල් මිල පාලනය කිරීම තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

2018 ජුනි 26 වැනිදා සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමේ අයිතිය කමිටුවකට පැවැරුණු අතර ඉන් අනතුරුව තෙල් මිල සම්බන්ධයෙන් තීරණ එම කමිටුව විසින් මුදල් අමාත්‍යවරයාට දැනුම් දීමෙන් පසු ඔහු විසින් මිල සංශෝධනය කෙරේ. එහෙත් 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ වගන්ති 66 අනුව මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය මත තෙල් මිල තීරණය කළ හැක්කේ ඛනිජ තෙල් අමාත්‍යවරයාය. එකී අයිතිය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍යවරයා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

එසේම කමිටුව සඳහා නිලධාරීන් පත් කිරීමේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම් එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කරන මෙන්ද යෝජනාවේ සඳහන් කර තිබේ.

ඒ කමිටුව විසින් තෙල්මිල තීරණය කොට පසුව එකී යෝජනාව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යවරයාට දැනුම් දී අමාත්‍යවරයා ඉන් අනතුරුව මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට මිල සංශෝධනය කිරීමෙන් පසුව විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමේ බලය රණතුංග මහතා ඉල්ලා ඇතැයි සඳහන්ය.