2018 ජුලි 07 වන සෙනසුරාදා

මංගල-අර්ජුන තෙල් මිලට ගැටුමක

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 369

ගයාන් ගාල්ලගේ l

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර හටගත් මතගැටුමක් නිසා අන්තිම මොහොතේ පැරැණි මිලටම ඉන්ධන අලෙවි කිරීමට ඛණිජ තෙල් සංස්ථාව තීන්දු කර ඇත. 

ඉන්ධන මිල ගණන් කොපමණ ප්‍රතිශතයකින් ඉහළ දමන්නේද යන්න ගැන අවසන් තීරණය ලබන 10 වැනි අඟහරුවාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගැනීමටද තීන්දු කෙරිණි.

මෙයට පෙර කැබිනට්ටුව අනුමත කරන ලද ඉන්ධන මිල සූත්‍රය අනුව පසුගිය 05 වැනිදා ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශයේ ඉන්ධන මිල සූත්‍ර කමිටුව තීන්දු කළේය. ඒ අනුව ජූලි මස 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කරන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ලිඛිතව දැනුම් දී තිබිණි.

ඉන් අනතුරුව රජයේ මාධ්‍ය නිවේදනයකින් නව මිල ගණන් ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත් ජුලි මස 06 වැනි සිකුරාදා ජනාධිපතිවරයා මුණගැසුණු අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙම මිල ඉහළ දැමීමට තමන් එකඟ නැතැයි දැනුම් දී ඇත. ඛණිජ තෙල් සංස්ථා පනත අනුව ඉන්ධන මිල ඉහළ පහළ දැමිය හැක්කේ මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව මත ඛණිජ තෙල් විෂය බාර අමාත්‍යවරයා විසින්යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජනාධිපතිවරයාට පවසා තිබේ. ඉන්පසු මුදල් අමාත්‍යාංශය තමන්ගේ අනුදැනුමකින් තොරව මිල ගණන් ඉහළ දැමූ බවට අර්ජුන රණතුංග මහතා ජනාධිපතිවරයාට යොමුකළ පැමිණිල්ල ගැන කරුණු විමසීමට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මහ භාණ්ඩාගාර ලේකම්වරයා සිකුරාදා දහවල් ජනපති කාර්යාලයට කැඳවනු ලැබූහ. එම හමුවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම මිල ගණන් සංශෝධනය සම්බන්ධව කල්තබා තමන් දැනුම්වත් නොකිරීම වරදක් බවයි. සිය කාර්යාලයේද ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයන් සිටින බැවින් මිල සංශෝධනය සම්බන්ධයෙන් තමාගේ උපදෙස් ගත යුතුව තිබූ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

මෙම අර්බුදකාරී තත්ත්වය නිසා මීළඟ කැබිනට් හමුව පැවැත්වෙන තෙක් ඉන්ධන මිල සංශෝධනය අත්හිටුවීමට රජය තීරණය කර ඇත. දේශයට වාර්තා වන ආකාරයට මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතය. එහෙත් විදෙස් සංචාරයක නිරතවන නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එදින කැබිනට් හමුවට සහභාගි නොවන බව වැඩිදුරටත් වාර්තා වේ.