2018 ජුනි 16 වන සෙනසුරාදා

16 කණ්ඩායමෙන් ජනපතිට කොන්දේසි

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 27

ගයාන් ගාල්ලගේ l

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්මට්ටමින් ප්‍රතිසංවිධානය කිරීම තම කණ්ඩායම මගින් සිදුකරන බවත් ඊට ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප 23 දෙනා සම්බන්ධ නොකරන ලෙසත් 16 දෙනාගේ කණ්ඩායම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී තිබේ.

මෙලෙස දැනුම් දී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (14) රාත්‍රියේ 16 දෙනාගේ පිරිසක් ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවේදීය.

ඊට ජනාධිපතිවරයා එකඟවෙමින් එම සාකච්ඡාවට සහභාගී වී සිටි ශ්‍රීලනිප නව මහලේකම්වරයාට දන්වා ඇත්තේ ආණ්ඩුවේ සිටින 23 දෙනා 16 දෙනාගේ ප්‍රතිසංවිධාන වැඩකටයුතුවලට සහභාගී නොකරන ලෙසය.

මෙහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා විසින් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත සිදුකරන ප්‍රකාශ පිළිබඳව දැඩි විවේචනයක් කර ඇත. සන්ධාන ලේකම්වරයා පක්ෂයේ සභාපතිවරයාගේ ප්‍රකාශ නොව සිරිකොතේ ප්‍රකාශ ලබාදෙන බවට එහිදී විවේචනය කර ඇත. එහිදී ජනාධිපතිවරයාද එම ප්‍රකාශ සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය පිරිසට දන්වා ඇතැයි සඳහන් වේ.

එසේම එළඹෙන සැප්තැම්බරයේ පක්ෂ මහා සමුළුවට පෙර පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් නොකරගතහොත් පක්ෂය විනාශ වුණු යුගය ලෙස මෙම යුගය ඉතිහාස ගතවන බව එම පිරිස පෙන්වා දී ඇත. ඒ නිසා නව මහලේකම්වරයකු පක්ෂයට පත්කොට පක්ෂය ප්‍රතිසංවිධාන ගතකරන ලෙසත් එතෙක් අණ්ඩුවේ සිටින ශ්‍රීලනිප 23 දෙනා සමඟ ගමනක් සිදුනොකරන ලෙසත් එම පිරිස ජනාධිපතිවරයාට පවසා තිබේ.