2018 ජුනි 09 වන සෙනසුරාදා

පොහොට්ටුවට ලෙඩ දැම්ම සුදර්ශනීට ඡන්දෙ දෙන්නෙ කොහොමද?

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 380

I ගයාන් ගාල්ලගේ

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තෝරන අවස්ථාවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට තම සහයෝගය ලබා නොදුන්නේ පළාත් පාලන මැතිවරණයේදී ඇයගෙන් කටාන ආසනයේ පොහොට්ටු පාක්ෂිකයන්ට එල්ලවුණු තර්ජන ඇතුළු කාරණා කිහිපයකට විරුද්ධව බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා දේශයට පැවසීය.

විශේෂයෙන් 16 දෙනාගේ කණ්ඩායම පිළිගන්නේ ඔවුන් පොහොට්ටුව සමඟ නිල වශයෙන් එක්වුවහොත් පමණක් බවද ඒ මහතා සඳහන් කළේය.

සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදීමේදී තවත් විශේෂ කාරණා කිහිපයක් පිළිබඳ සලකා බැලූ බව හෙතෙම කීය. පසුගිය 2015 මහ මැතිවරණයෙන් පසු කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායක තනතුරු ලබා ගැනීම සඳහා තරග නොකළ නිසාත් එමෙන්ම එහිදී ඡන්දය භාවිතා නොකළ නිසාත් මෙවරද ඡන්දය ලබා නොදිය යුතුයි යන්න තමන්ගේ තීරණය බව ඔහු පැවසීය. එසේම මෙවර ඡන්දය ප්‍රකාශ කළා නම් එය පොහොට්ටුවට ඡන්දය ලබා දුන් ජනතාවට සිදු කරන අසාධාරණයක් බවද ඔහු කීය.

කෙසේ වෙතත් මෙය පෞද්ගලික ප්‍රශ්නයක් නොවන බවත් දේශපාලනමය තීන්දුවක් බවත් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පැවසීය.