2018 මැයි 26 වන සෙනසුරාදා

මහවැස්සෙන් පවුල් 13,199ක් අනාථ කඳවුරුවල

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

I සමන්ත ප්‍රදීප් විල්තෙර

ධාරාණිපාත වර්ෂාව නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපා ඇති ගංවතුර, නායයෑම් හා විවිධ ආපදා හේතුවෙන් පුද්ගල මරණ 16ක් සිදුව ඇති අතර පවුල් 35,129 කට අධික ප්‍රමාණයක පුද්ගලයන් 138,292 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මොවුන් අතරින් පවුල් 13,199ක් ආරක්ෂිත කඳවුරු 231ක රඳවා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

විපතට පත් ජනතාව සඳහා ආධාර සැපයීමට මුදල් අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙළක් දියත්කර ඇති අතර එහි පළමු පියවරට රුපියල් කෝටි 2ක පමණ මුදලක් සහන කටයුතු සඳහා මුදාහැර තිබේ.

දියේ ගැලීම, අකුණු සැර වැදීම, නාය යෑම හේතුවෙන් පුද්ගල මරණ 16 ක් වාර්තා වී තිබෙන අතර මුලතිව්, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, රත්නපුර, ගාල්ල, කළුතර, කුරුණෑගල, පුත්තලම, මොනරාගල, මාතර, හම්බන්තොට, වවුනියාව, ගම්පහ, මාතලේ, පොළොන්නරුව යන දිස්ත්‍රික්ක ආපදා තත්ත්වයට මුහුණපා තිබෙන බවත් ඒ අතුරින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක ජනතාව වැඩිම ආපදාවකට ලක්ව ඇති බවත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මහවැසි හේතුවෙන් ප්‍රධාන ගංගාවල ජල මට්ටම ඉහළ යාමත් ප්‍රධාන ජලාශවල හා ලොකු කුඩා වැව් වාන්දැමීම නිසා තවදුරටත් පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. මේ නිසා අවට පදිංචි ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට වාර්මාර්ග  දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කීපයක විදුලිය විසන්ධි කර තිබෙන අතර එය ආපදා තත්ත්වය සමනය වූ වහාම යථා තත්ත්වයට පත්කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ආපදාවට පත්වූවන් මුදාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව එක්ව කටයුතු කරන බවත් නාවික හමුදාවේ බෝට්ටු 40ක් ඒ සඳහා යොදවාගෙන ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.