2018 මැයි 19 වන සෙනසුරාදා

හම්බන්තොට දූපත නැත්නම් සල්ලි නැහැ

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 761

දේශපාලන වාර්තාකරු l 

දිගුකාලීන බදු පදනම යටතේ චීනයට පවරා දී තිබෙන හම්බන්තොට වරාය ආශ්‍රිතව මුහුදේ ඉදිකර තිබෙන විශේෂ දූපත චීනයට පවරා දෙන්නේ නැතිනම් මෙම ගනුදෙනුවේ ඉදිරි වාරිකය ලබාදිය නොහැකි බව අදාළ චීන සමාගම ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. දූපත ඔවුනට පවරනතුරු ලබාදීම අත්හිටුවා තිබෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණ වෙතැයි ද වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂ රජය සමයේ ඇමරිකානු ඩොලර් මිලියන 60ක් පමණ වැයකොට සංචාරක ප්‍රවර්ධනයට උපයෝගී කරගැනීම පිණිස ඉදිකළ මෙකී දූපත හෙක්ටයාර 110කින් සමන්විතය. මෙහි අද වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මන බවද කියැවේ.

කලින් සැලසුම් කර තිබුණේ මෙහි සංචාරක හෝටල් විනෝදාගාර ආදිය ඉදිකිරීමටය. හම්බන්තොට වරාය චීනයටබදු දීමත් සමඟ එම දූපතද එහි ගිවිසුමට අදාළ බව චීනය කියා සිටී. මෙකී අලුත් දූපත ශ්‍රී ලංකා දේශසීමාවට අයත් නව දූපතක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතුය. එහෙත් තවමත් එලෙස ගැසට් කර නැත. එසේ දූපත ගැසට් කිරීමට දකුණු පළාත් සභාවේ අනුමැතියද අවශ්‍ය වේ. එහෙත් දූපත මෙලෙස අලුතින් ගැසට් කොට චීනයට පවරාදීමට දකුණු පළාත් සභාවේ දැඩි විරෝධය එල්ල වී ඇතැයි දැනගන්නට ඇත. එනිසා නව දූපතේ ප්‍රශ්නය බරපතළ අර්බුදයක් බවට පත්වෙමින් තිබේ.