2018 මැයි 19 වන සෙනසුරාදා

පුංචි ආණ්ඩු මන්ත්‍රීන්ට පඩි හොර පාරෙන්?

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

යසවර්ධන රුද්රිගු l

දැනට පළාත් පාලන ආයතනවල මහජන ඡන්දයෙන් පත්වූ නියෝජිතයන් සඳහා වැටුප් සහ දීමනා ගෙවන්නේ විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් අනුව නමුත් එම ක්‍රමය නීත්‍යානුකූල නොවන බව පළාත් පාලන පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මෙම ගෙවීම් සඳහා නගර සභා වෙනුවෙන් රෙගුලාසිද ප්‍රාදේශීය සභාවලට රීති ද සකස් කර, පාර්ලිමේන්තුවෙන් අනුමත කර ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ යුතු නමුත් එය එසේ සිදු වී නැති බව ඔහු කීය. මෙම ගෙවීම් සඳහා නීති පැනවීමට අමාත්‍යවරයාට බලයක් නොමැති අතර ඒවා පාර්ලිමේන්තුවෙන් සිදුවිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් අතීතයේ සිටම අද දක්වාම ඇමැතිවරයාගේ චක්‍රලේඛයකින් මේ සඳහා බලය පැවරීම නීත්‍යානුකූල නොවන අතර, එය විගණකාධිපතිට අධිභාර පැනවීමට පවා හේතුවන්නක් බව ඔහු කීවේය. මෙවර අලුතින් පත්වූ විශාල පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකට මෙම ගෙවීම් සඳහා ලොකු මුදලක් වැයවෙන අතර මේ තත්ත්වය මත ගෙවීම් කිරීම නීත්‍යානුකූල කිරීම අවශ්‍ය බව තම මතය යැයි ඔහු පැවසීය.