2018 මැයි 12 වන සෙනසුරාදා

තෙල් මිල නැග්ගුවේ බැඳුම්කර පාඩුව වහන්න - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

දේශපාලන වාර්තාකරු l

බැඳුම්කර වංචාවෙන් රටට අහිමි කළ රුපියල් කෝටි දහස් ගණනක මූල්‍ය පාඩුව පියවා ගැනීමට ආණ්ඩුව අධික ලෙස තෙල් මිල ගණන් ඉහළ දමා ජනතාව දැඩි පීඩනයකට පත්කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

කිසිම රජයක් නොකළ පරිදි රටේ බහුතර දුගී දුප්පත් ජනතාවට අත්‍යවශ්‍ය වන භූමිතෙල් ලීටරයක් රුපියල් 57/-ක් තරම් විශාල මිලකින් ඉහළ දැමීමෙන් දුප්පත් ජනතාවට කළ අපරාධයට මීළඟ මැතිවරණවලදී වන්දි ගෙවන්නට සිදුවනු ඇතැයිද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

තෙල්, ගෑස්, කිරිපිටි, පරිප්පු ආදී අත්‍යවශ්‍යම ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමත් රුපියල කඩාවැටීම පාලනයකින් තොරවීමත් නිසා ජනතාවට බඩුමිල දරාගත නොහැකිව වීදි බසින දිනය අත ළඟ යැයිද හෙතෙම සඳහන් කළේය. ජනතාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ළඟදීම මෙයට එරෙහිව රටපුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.