2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

ශ්‍රීලනිප බලය අල්ලන්න දහසයේ කල්ලිය සටනට

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 471

l දේශපාලන වාර්තාකරු

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී විපක්ෂයට එක්වීමට තීන්දු කළ ශ්‍රි ල.නි.ප. මන්ත්‍රීන් 16 දෙනා ශ්‍රී ල.නි.ප.යේ අයිතිය තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

පසුගිය බදාදා හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසට රැස්වූ මෙකී මන්ත්‍රී පිරිස අදාළ තීන්දුවට එළැඹ තිබිණි. අනතුරුව ඒ ගැන ජනාධිපතිවරයා සමඟ මූලික අදහස් හුවමාරුවෙන් පසු එම කණ්ඩායමේ මන්ත්‍රීන් හය දෙනකුට වහා ලන්ඩනයට පැමිණ තමන් හමුවන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේය. එම ඇරුයුම ලැබුණේ අනුර යාපා, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන්ටය. එහෙත් මෙම ඇරැයුම අනුව හදිසියේම අදාළ සාකච්ඡාව සඳහා ලන්ඩනයට ගියේ චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් පමණි.

එම මන්ත්‍රී පිරිස තම කණ්ඩායමේ තීන්දුව ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇත. ඉක්මනින් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවන ලෙසත් මුළු පක්ෂයම රජයෙන් ඉවත්විය යුතු බවටත් ඔවුන් යෝජනා කර ඇතැයිද ලන්ඩන් ආරංචි මාර්ග කියයි. සිකුරාදා රාත්‍රී ලන්ඩන් පාර්ක්ලේන් හිල්ටන් හෝටලයේ පැවති හමුව සඳහා ජනාධිපතිවරයා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා - මන්ත්‍රීන්වන ඩිලාන් පෙරේරා - චන්දිම වීරක්කොඩි හා ලමන් වසන්ත පෙරේරා ඇරැයුම් ලබා තිබිණ.

මෙහිදී ශ්‍රී ල.නි.ප. මහ ලේකම් දුමින්ද දිසානායක සහ සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන්ට අවශ්‍ය ආකාරයට පක්ෂය මෙහෙයැවීමට ඉඩ නොදෙන ලෙසත් ඔවුන් අදාළ තනතුරුවලින් ඉවත් කරන ලෙසත් දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.