2018 අප්‍රේල් 13 වන සිකුරාදා

ආණ්ඩුකාරවරු 7කට ස්ථාන මාරු

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 368

රජිත ජාගොඩආරච්චි l

පළාත් ආණ්ඩුකාරවරු හත් දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදෙමින් නව පත්වීම් සිදුකර තිබේ. අභිනවයෙන් පත්වීම් ලද නව ආණ්ඩුකාරවරු පසුගිය බ්‍රහස්පතින්දා (12) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වූ හේමකුමාර නානායක්කාර මහතා බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන්ද, බස්නාහිර ආණ්ඩුකාර ධූරය දැරූ කේ.සී. ලෝගේෂ්වරන් මහතා වයඹ ආණ්ඩුකාරවරයා ලෙසද නව පත්වීම් ලබා සිටිති.මෙතෙක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ නිලූකා ඒකනායක මහත්මිය සබරගමුව පළාත් ආණ්ඩුකාර ධූරයට පත් කරනු ලැබ සිටී. ඒ සමඟ පුරප්පාඩු වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයට උතුරැ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්ව සිටී.

සබරගමුව ආණ්ඩුකාර ධූරය දැරූ මාෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්කර ඇති අතර මෙතෙක් ඌව පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ එම්.ජී. ජයසිංහ මහතා උතුරුමැද පළාතට පත් කරනු ලැබීය. අලුතින් ඌව පළාත් ආණ්ඩුකාර ධූරයට පත්ව සිටින්නේ මෙතෙක් උතුරුමැද පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ පී.බී. දිසානායක මහතාය. රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉවත්ව යාමෙන් පුරප්පාඩු වූ උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මෙතෙක් කිසිවකු පත් කර නැත. එමෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය දරන රෝහිත බෝගොල්ලාගම මහතා තවදුරටත් එම ධූරයේ කටයුතු කරනු ඇත. මෙතෙක් වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ අමරා පියසීලි රත්නායක මහත්මිය ඉදිරියේදී උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්වීමට නියමිතව සිටියත් ඇය බ්‍රහස්පතින්දා දිව්රුම් දීමට පැමිණ සිටියේ නැත.