2018 අප්‍රේල් 13 වන සිකුරාදා

විග්නේෂ්වරන්ගෙන් අලුත් පක්ෂයක්

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 43

සංජීවිකා සමරතුංග l

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැරසෙයි. මේ බව මුල්වරට අනාවරණය වූයේ ඔහු විසින් සතිපතා උතුරේ මාධ්‍යයට නිකුත් කරන විශේෂ මාධ්‍ය නිවේදනය මගිනි.

පසුගියදා දෙමළ සන්ධාන මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා මීළඟ පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති අපේක්ෂකත්වය විග්නේෂ්වරන් මහතාට ලබානොදෙන බව පැවසීය. ඉන්පසු යට කී මාධ්‍ය නිවේදනය නිකුත් කළ මහ ඇමැති විග්නේෂ්වරන් සඳහන් කළේ තමන්ට නව දේශපාලන පක්ෂයක් අරඹන ලෙස ජනතාව ආරාධනා කරන බවත් මේ ජනතා ඉල්ලීමත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් මත ඉදිරියේ තීරණාත්මක යමක් සිදුවිය හැකි බවය. යාපන සරසවි සිසුන් දැනටමත් ඔහුට සහාය පළකිරීමට ඉදිරිපත්ව ඇතැයි උතුරෙන් වාර්තා වෙයි.

ඒ අතර දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා මෙම ප්‍රකාශය කල්තබා කිරීම ගැන සුමන්තිරන් මන්ත්‍රීවරයාට දැඩි ලෙස දොස් පවරා ඇතැයිද කියැවේ. එසේ වුවද දෙමළ සන්ධානය ලබන පළාත් සභා ඡන්දයට සිය අපේක්ෂකයා ලෙස මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඉදිරිපත් කිරීමට අභ්‍යන්තර තීන්දුවක් ගෙන ඇත. මෙම දේශපාලන ව්‍යාකූලත්වය මධ්‍යයේ මහ ඇමැති විග්නේෂ්වරන් තමන්ගේ නව දේශපාලන ගමනට දේවාශිර්වාද ලබාගැනීම පිණිස විශේෂ පූජාවක් කිරීමට තමිල්නාඩුව බලා පිටත්ව ගියේය.