2017 ජනවාරි 14 වන සෙනසුරාදා

නියඟයට මුහුණ දෙන්න ඩොලර් කන්දක් ඕනෑ

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101


වියළි කලාපයේ දිස්ත්‍රික්ක රැසකට බලපාන දැඩි නියං තත්ත්වයට මුහුණ දීමට අමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ අතිරේක හදිසි මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වන බව රජයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ප්‍රධානම ප්‍රශ්නය උද්ගතව ඇත්තේ විදුලිය නිෂ්පාදනය සම්බන්ධවයි. දැන් ජල විදුලිය නිෂ්පාදනය 15%කට අඩුවී ඇති අතර ඉන්ධන බලාගාර සඳහා අතිරේක ඉන්ධන තොග ආනයනය කළ යුතුව ඇත. මෙයට මාස 3කට පමණ පෙර අමෙරිකානු ඩොලර් 40ක සීමාවේ තිබූ බොරතෙල් බැරලය දැන් ඩොලර් 55 ඉක්මවා තිබේ. එනිසා රටේ සමස්ත ඉන්ධන ආනයනයට අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වේ. මේ සියල්ලට වැයවෙතැයි අපේක්ෂා කරනා මුදල අමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණය.

නියඟයෙන් විදුලිය අර්බුදයට අමතරව කෘෂි අංශයටද විශාල බලපෑම් එල්ල වී තිබේ.

වී ගොවිතැන සහ සෙසු ආහාර බෝග වගාවන් අඩාල වීම නිසා සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කළ යුතුව ඇත. අඩුම තරමින් වැසි ලැබී නව අස්වනු ලැබෙන තෙක් හාල් සහ සෙසු ආහාර ද්‍රව්‍ය මාස 6ක කාලයක් ආනයනය සඳහා ඩොලර් මිලියන 200ක් වැයවෙතැයි ගණන් බලා ඇත. මෙරටට මසකට දළ වශයෙන් සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් දහසක් අවශ්‍ය වන අතර දැනට ලෝක වෙළෙඳපොළේ හාල් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 250 කි. 

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පසුගියදා ප්‍රකාශ කළේ මෙම මහ කන්නයේ වගාකළ යුතු කුඹුරු හෙක්ටයාර ලක්ෂ 8න් සියයට 50ක් වගාකර නොමැති බවය. ඉදිරි යල් කන්නයේද නියඟය හේතුවෙන් වගා කුඹුරු ප්‍රමාණය තවත් අඩකින් අඩුවිය හැකි බවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අනතුරු හැඟවීය. 

(සංජීවිකා සමරතුංග)