2017 ජනවාරි 14 වන සෙනසුරාදා

විශ්‍රාමික ලොක්කන්ට වැඩි පඩි යෝජනාවට කැබිනට් විරෝධය

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 275


රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන අමාත්‍යංශ ලේකම්වරුන් හා වෙනත් විශේෂ වෘත්තිකයන්ගේ වයස අවුරැදු 60න් පසු තවදුරටත් ඉහළ වැටුපකට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට මුදල් අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට කර තිබූ යෝජනාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැන් ගණනාවක් විරෝධය දැක්වීම නිසා කල්තැබීම සිදුවී තිබේ.

මෙසේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨයන් මසකට රුපියල් තුන්ලක්ෂ පනස්දහසක (රැ. 3,50,000) ඉහළ වැටුපකට නිශ්චිත කාලයක් සඳහා බඳවා ගන්නට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ මුදල් අමාත්‍යවරයාය. යෝජිත වැටුපට අමතරව රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුපද ඔවුනට හිමිවෙයි.
මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්වූ අවස්ථාවේ එය මුදල් අමාත්‍යංශයේ කාර්යයක් නොව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රාජකාරියක් බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පෙන්වා දී තිබේ. ඇමැතිවරුන් ගණනාවක් කියා ඇත්තේ විශ්‍රාම වැටුප් ලබන නිලධාරීන් මසකට රු. 3,50,000 ඉහළ වැටුපකට බඳවා ගැනීම අයෝග්‍ය බවය. මෙකී යෝජනාව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අනුමැතිය හා නිරීක්ෂණ නොමැතිව සිදුකිරීම නෛතික පටිපාටි උල්ලංඝනයක් බවද අමාත්‍යවරුන් ගණනාවක් පෙන්වාදී තිබුණි. මේ සඳහා මුදල් ප්‍රතිපාදන සැපයීම ගැනද අමාත්‍යවරු ප්‍රශ්න කර ඇත.

(සංජීවිකා සමරතුංග)