2017 ජනවාරි 14 වන සෙනසුරාදා

විසිපන්දාහේ දඩේට මල් සහ ගල්

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

බීමත්ව රිය පැදවීම, අධික වේගය ඇතුළු රථ වාහන වැරැදි 6ක් සඳහා දඩය රු.25000 දක්වා වැඩිකිරීමට බස් සංගම් එකඟවූ බව ප්‍රවාහන ඇමැතිවරයා පසුගිය දිනක පැවසීය. ඒ අනුව බීමත්ව රිය පැදවීම, රියදුරැ බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම හෝ එවැන්නෙකුට තම රථය පැදවීමට ඉඩදීම, අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම, රක්ෂණ ආවරණයක් නොමැතිවීම, අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම ආදී වැරැදි සඳහා මෙලෙස දඩය වැඩි කරනු ලබන බව ප්‍රවාහන අමාත්‍යවරයා. 

රථවාහන වැරුදි සම්බන්ධයෙන් ආර්ම්භයේදී රැ.2500ක දඩ මුදලක් නිකුත් කරනු ලැබුවේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම සඳහා පමණි. දුම්රිය හරස් මාර්ගයකින් නොසැලකිලිමත් ලෙස ධාවනය කරලීම, බීමත්ව රිය පැදවීම, රක්ෂණ ආවරණයක් නොමැතිව රිය පැදවීම යන වැරැදි සඳහා උසාවියට ඉදිරිපත් කිරීම සිදුවිය. සම්මත වේගයට වැඩියෙන් ධාවනය කිරීමේ වරදට රු.1000ක දඩයක්ද, වමෙන් ඉස්සර කිරීමේ වරදට රු.500ක්ද, අන් අය වාහනයක් පදවා වරදක් සිදුවූ විට හිමිකරුට රු. 300ක දඩයක්ද ලෙස මීට පෙරාතුව දඩ මුදල් නියම කර තිබුණි.

එම දඩ මුදල ප්‍රමාණවත් නොවීම නිසා රිය අනතුරැ බහුලව සිදුවන බව හා රියදුරන් අනාරක්ෂිතව වාහන ධාවනය කරන බැවින් දඩ මුදල 25000 දක්වා වැඩි කළ බව මුදල් අමාත්‍ය රවි කරැණානායක සහ ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසූහ. නමුත් ආණ්ඩුවේ මෙම තීරණයට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දැක්වමින් බස්රථ හිමියන් සහ ත්‍රීරෝද රථ සංගම් අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරඹුවේ මෙය අසාධාරණ තීරණයක්යැයි පවසමිනි. එක් දිනක වැඩවර්ජනයෙන් පසු දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් මැදිහත් වූ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කළේය. නමුත් එම කමිටුව සංගම්වල අදහස් පිළි නොගනිමින් ස්වාභිමතයට වාර්තාවක් සැකසූ බව සංගම් කිහිපයක්ම චෝදනා කළේය. නමුත් ඇතැම් සංගම් පවසන්නේ යහපත් අණපනත් සඳහා සංගම්වල අනුමැතිය අත්‍යවශ්‍ය නොවන බවයි. මේ සම්බන්ධයෙන් විවිධ සංගම් පැවසූ අදහස් මෙසේය.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර
මේ ආණ්ඩුවේ අයවැයේ සාධනීයම ලක්ෂණයක් තමයි රුපියල් 25000හේ අවම දඩය. මාවතේ රියදුරන්ගේ විනයට මේක වැදගත් තීරණයක්. වැරුදි කරන්නන්ට දඩ ගැසීම පිළිබඳව මගේ කිසිම විරෝධත්වයක් නැහැ. ඇත්තටම මේ ආණ්ඩුවට පොදු ප්‍රවාහනය ප්‍රතිපත්තියක් නැහැ. ඒ හින්දා ආණ්ඩුව ඒ සැබෑ ප්‍රශ්නය යටපත් කරන්න ගෙනාපු මේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය කැඳව්ව නැති එක ගැන මම සතුටු වෙනවා. 
සමස්ත ලංකා ස්වයං රැකිය නියුක්ති සංගමයේ සුනිල් ජයවර්ධන

ප්‍රවාහන ඇමැතිතුමා සහ මුදල් ඇමතිතුමාත්, ජනාධිපතිවරයා පත් කළ කමිටුවත් තනිව තීරණයක් අරගෙන කියනවා සංශෝධන සහිතව දඩමුදල ආයෙත් එනවා කියලා. මේ වාර්තාව සකසන්නේ ජනාධිපතිවරයා පත්කළ කොමිසම. නමුත් අදාළ ඇමතිවරයා මුනිවත රකිනවා. ප්‍රවාහන අමාත්‍යවරයා තනිව තීරණයක් අරගෙන අපිව සාකච්ඡාවට කැඳවනවා. සාකච්ඡාවේදී අපි කියන දේ බැහැර කරලා ඔහු කියන දේ අපිට පිළිගන්න කියනවා. අනතුරුව ඒක සභාගත කරගන්නවා. ඊට පස්සේ නිවේදනයක් නිකත් කරනවා අපි සංගම් එක්ක සාකච්ඡ කරලා තීරණයක් ගත්තා කියලා.. ආණ්ඩුව කවදාවත් සංගම්වල තීන්දු තීරණවලට ඇහුම්කන් දෙන්නෙ නැහැ. ආණ්ඩුව හිතුමනාපෙට පත් කරනවා කමිටුවක්. ඒ කමිටුවේ ඉන්න පිරිස ආණ්ඩුව කියන දේ කරනවා. මේ ප්‍රයත්නය සාර්ථක කරගන්න නම් අපි එක්ක හරියට සාකච්ඡා කළ යුතුයි. නමුත් ආණ්ඩුවේ සාක්කුව ඇතුළේ ඉන්න සංගම් විතරක් කතා කරලා ඔවුන් එක්ක විතරක් සාකච්ඡ කරනවා. එහෙම කළා කියලා ගැටලු ලිහෙන්නේ නෑ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.
අපිට මිනී මරන්න අවසර ඉල්ලන්න බැහැ කමිටුවෙන්. මම කමිටුවට යෝජනා කළේ 50000ක් දඩගහන්න. කිසිම සංගමයක් මත්පැන් පානය කරලා රිය පදවන්න, අධිකවේගයෙන් රිය පදවලා මිනිස්සු මරන්න අනුමැතිය ඉල්ලන්න බැහැ. සංගමයක් පෝස්ටර් ගහලා වැඩවර්ජනය කළත් එවැනි දේවලට අවසර දෙන්න බැහැ. අපේ සංගමය කමිටුවට කීවේ ජාත්‍යන්තර මඟපෙන්වීම් අනුගමනය කරමින් දඩ ගහන්න කියලා. මොනවා වුණත් කමිටුවේ තීරණවලට එරෙහිවෙන්න නෛතික තාම හැකියාවක් දැනට නෑ. උගත්කමක් නැති සංගම් කමිටුවට විරුද්ධ වුණා කියා හැම තැනම කියනවා. එහෙම විරුද්ධ වුණාට තේරුමක් නැහැ. කමිටුවේ තීරණය කෙටුම්පත් කළාම අධිකරණයට ගිහිං තමයි විරෝධය පාන්න තියෙන එකම ක්‍රමය. ඒ නිසා අපි විරැද්ධ වුණේ නෑ. අවශ්‍ය නම් අපි ආණ්ඩුවේ තීරණයට අභියෝග කරනවා අධිකරණයට ගිහින්.‍

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක අංජන ප්‍රියන්ජිත්
පළමු සාකච්ඡාව මාසයකට ඉහතදී පැවැත්වුණා. එහිදි කීවේ ඒ සාකච්ඡාව පදනම් කරමින් වාර්තාවක් හදා ඒ වාර්තාව ක්‍රියාත්මක කිරීමට පෙර නැවතත් අපෙන් අදහස් විමසන කියලයි. එහෙම කියලා අපෙන් අදහස් විමසන්නෙ නැතිව අත්නෝමතිකව තීරණයක් ගන්නවා නම් ඒක කොහෙත්ම පිළිගන්න හැකියාවක් නැහැ. ඒක අපේ වැඩවර්ජනයදී දුන්න පොරොන්දුවත් කඩ කිරීමක්. අපි ඒ මොහොතේ වැඩවර්ජනය නැවැත්වුවේ රජය යම් නම්‍යතාවක් දැක්වුව නිසා. ආණ්ඩුව මේ විදිහට ක්‍රියා කළොත් එහි ප්‍රතිපල සහ පලවිපාක නැවත නැවත සිදුවෙයි. අපි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා.

♦ සකීෆ් සාම් තන්වීරි.