2017 ජනවාරි 14 වන සෙනසුරාදා

පොලිස් ඉඩම් බලතල දුන්නොත් දවස් ගණනාවකින් රට බෙදෙනවා

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් කටයුතු කරන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ජාතික ඒකාබද්ධතා කමිටුව, යුතුකම සංවාද මණ්ඩපය ආදී සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරන විද්වතෙකි. පවතින දේශපාලන වටපිටාව ගැන ඔහු දක්වන්නේ මෙවන් අදහසකි.

>> පළමු වසර දෙකේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ අයුරින් ඊළඟ වසර තුනේදී වේගවත් ආර්ථික සංවර්ධනයකට රට ගෙනියන බව ආණ්ඩුව කියනවා. නව වසරේ ආණ්ඩුවේ දේශපාලන ගමන්මඟ ඔබ දකින්නෙ කොහොමද?
මේ අවුරුදු දෙක බැලුවාම අපිට එකක් පැහැදිලියි. ඒ තමයි මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකිරීමේ වුවමනාවක් මේ රජයට තිබුණු බවක් නොපෙනීමයි. මම එක නිදර්ශනයක් කියන්නම්. මොවුන් බලයට පත්වන විට දූෂණය තුරන් කරන බව කිව්වා. ඒකට ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවක් පත් කරනවා කිව්වා. අද වනතුරු ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව පත් කරලා නෑ. ටෙණ්ඩර් කැඳවීමකින් තොරව මේ විදියට චීනයට වරාය විකුණන්න උත්සාහ කරන්නෙත් ඒ නිසයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළා. අපි ජනාධිපතිගෙ බලතල ඉවත් කරලා ව්‍යවස්ථා සභාවක් පත්කර ගැනීමේ අපේක්ෂාව වුණේ විධිමත් තෝරාගැනීමේ ක‍්‍රියා පටිපාටියක්. නමුත් ව්‍යවස්ථා සභාව පත් කිරීම සම්බන්ධයෙන් එවැන්නක් නෑ. ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියා සිටිද්දී වෙනත් අයකු පොලිස්පතිට තේරුවා. සොලිසිටර් ජනරාල්වරයා සිටිද්දී අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු නීතිපති හැටියට පත් කළා. 

>> සුදුසුකම ජ්‍යෙෂ්ඨත්වය විය යුතුද?
ජ්‍යෙෂ්ඨතමයා පත්කළ යුතු යැයි මම කියන්නේ නෑ. මම කියන්නේ වරප‍්‍රසාද භුක්ති විඳිමින් දූෂණය නැති කිරීම ගැන කතා කරන ව්‍යවස්ථා සභාව මේ පත්කිරීම් කරන්නේ කිසිදු ක‍්‍රමවේදයකට නොවන බවයි. ව්‍යවස්ථා සභාවේ නව දෙනාගෙන් හත් දෙනකුම අගමැති හා විපක්ෂ නායක විසින් තෝරන්නේ. විපක්ෂ නායක කියන්නේ පාර්ලිමේන්තුවේ ඡන්ද 16ක් පමණක් ඇති කෘත්‍රිම විපක්ෂ නායක කෙනෙක්. මේ රටේ ඉහළ ධූරවලට පත් කරන්නෙ කවුද කියලා තීරණය කරන්නේ ඔහු හා අගමැති එකතුවෙලයි. මහා වීරකමක් හැටියට 19 සම්මත කරගත්තට ඒකෙන් කළේ රටේ බහුතර බලයකින් පත්කළ ජනපතිගේ බලය ඉවත් කරලා මේ කොළඹ දිස්ත‍්‍රික්කයේ විතරක් බලය ගත්ත අගමැතියි, ත‍්‍රිකුණාමලයේ විතරක් ඡන්ද ගත්ත සම්බන්ධනුයි මේ රටේ තීරණාත්මක ධූරවල බලධාරීන් හැටියට පත් කිරීමයි. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. නිදහස පැත්තෙන් බැලුවත් හම්බන්තොටදී ඉතාම කෲර ලෙස සංඝයා වහන්සේලාට පහර දුන්නා. තමන්ගෙ පැත්තෙ කාටවත් නීතිය ක‍්‍රියාත්මක නොකර දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගන්නවා. ලංකා ඉතිහාසයේ නොදුටු අඳුරු යුගයක් තමයි මට නම් පෙනෙන්නේ.

>> සුපිරි ඇමැතිවරයකු සම්බන්ධයෙන් ආණ්ඩුවට ලොකු විවේචනයක් එල්ලවුණත් ආර්ථික විද්‍යාඥයන් කියන්නේ ආර්ථික වශයෙන් පිම්මක් පනින්න අවශ්‍යයයි කියලයි. ආර්ථිකය හා දේශපාලනය කළමනාකරණය කරගන්නේ කොහොමද?
වැරදි දේවල් නොකර පැන්නට කමක් නෑ. වරාය නිවැරැදි විදියට කළමනාකරණයට ජාත්‍යන්තර වශයෙන් ආයෝජකයන් හොයාගන්නවා නම් ඒක කරන්න තිබුණේ නියමිත පරිදි ටෙන්ඩර් කැඳවීමක් කරලයි. අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගෙන ඒ තාක්ෂණික උපදෙස් පදනම් කරගෙන ටෙන්ඩර් කැඳවලා ඒ අනුව ලෝකෙ ඉන්න ඕනෑම ආයෝජකයකුට අයැදුම් කළ හැකි ක‍්‍රමවේදයක් අනුගමනය කළ යුතුව තිබුණා. නමුත් වුණේ තමන් කැමැති ආයෝජකයකු තෝරාගැනීමයි. ගිය ආණ්ඩුවට විරුද්ධවත් මේ රජය එල්ල කළ ප‍්‍රධාන චෝදනාව  ඕක තමයි. සංවර්ධනයට කවුරුවත් විරුද්ධ නෑ. 

>> ආණ්ඩුව අහන්නෙ කලින් චීනය හොඳ නම් දැන් නරක වුණේ කොහොමද කියලයි. ආණ්ඩුවේ විදෙස් පිළිවෙත වැරදිද?
ලංකාවට තිබුණේ නොබැඳි ප‍්‍රතිපත්තියක්. මහින්ද රාජපක්ෂ යුගයේ වුණත් ඉන්දියාව කළමනාකරණය කරගත්තා. ගිය ආණ්ඩුව සර්වසම්පූර්ණ විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළායැයි මම කියන්නේ නෑ. ඔවුන්ගෙත් වැරැදි තිබුණා. නමුත් අද තිබෙන්නේ තනිකරම බටහිර කියන්නෙ මොකද්ද ඒක කරන ප‍්‍රතිපත්තියක්. උදාහරණයකට ශ‍්‍රී ලංකා රජය තමන්ට විරැද්ධව යෝජනා සම්මතයක් ගෙනාවා. රජයක් තමන්ගේ රටට විරුද්ධව යෝජනා සම්මතයක් ගෙනාවේ ලෝක ඉතිහාසයේ පළමු වැනි වතාවටයි. එහි එක් යෝජනාවක් වන්නේ විදෙස් විනිසුරන්, අභිචෝදකයන් එකතු කරගෙන අපේ රණවිරුවන්ට විරුද්ධව නඩු ඇහීමයි. ඔය යෝජනාවේ ක‍්‍රියාකාරී කොටසේ පළමු වැනි වගන්තියෙන්ම අපි කුමාරයගෙ වාර්තාව පිළිගත්තා. ඒ වාර්තාවෙනුත් විදෙස් විනිසුරන් නිර්දේශ කරලා තිබුණා. ඕකට දැඩි ලෙස ජනතාව විරුද්ධ වුණාම නෑ නෑ අපි විදෙස් විනිසුරන් ගේන්නේ නෑ කියලා රජය කිව්වා. නමුත් සංහිඳියා කාර්යාංශයේ ප‍්‍රධානී චන්ද්‍රිකා කුමාරණතුංගයි පාක්‍යසෝති සරවනමුත්තුයි මනෝරි මුත්තෙට්ටුවේගමයි විවිධ එන්.ජී.ඕ නඩයි එකතුවෙලා විදෙස් විනිසුරන්ව නිර්දේශ කරනවා. විදෙස් ප‍්‍රතිපත්තිය සම්පූර්ණයෙන් විනාශ කරලා තිබෙන්නේ. 

>> නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය විනිවිදව සිදුකෙරෙන බව රජය පැවැසුවත් ඔබ එම ක‍්‍රියාවලිය දැඩිව විවේචනය කරනවා. ඒ ඇයි?
ආණ්ඩුව හදන්නේ ජනතාව නොමඟ යවලා මේ ව්‍යවස්ථාව කොහොම හරි පාස් කරගන්නයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනතට කළෙත් ඕකම තමයි. එතැන තිබුණේ ලොකු ගාලගෝට්ටියක්. කතානායකවරයා තමයි ඒක සම්මත වුණායැයි කියන්නේ. මොකද කතානායකවරයා එය සම්මත වූ බව පවසා අත්සන තැබූ විට සැලකෙන්නේ එය සම්මත වුණා කියලයි. හැබැයි ඒකෙන් කළේ මොකද්ද? සාක්ෂි ආඥා පනතේ විධිවිධාන පවා අදාළ කරගන්නේ නැතිව රණවිරුවන්ගේ සාක්ෂි සටහන් කරගෙන, ඒ සාක්ෂි උපයෝගී කරගැනීමට අවස්ථාවක් ලබාදීමයි. මේක කොච්චර වැරදිද? යුද්ධ කාලේ හදිසි නීතිය යටතේ සාක්ෂි ආඥා පනත පාවිච්චි කරන්නේ නැතිව මිනිස්සු අත්අඩංගුවට ගෙන නඩු විභාග කළායැයි අපිට ලොකු චෝදනාවක් තිබුණා. එහෙම චෝදනා කළ බලධාරීන්ම රට වෙනුවෙන් කැපවෙලා සිය ජීවිතය කැප කළ රණවිරුවන් දං ගෙඩියට යැවීමේ පනත සම්මත කරලා ඉවරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙනුත් ඔවුන් කරන්න හදන්නේ ඒකයි. මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉතාම භයානක දේවල් තිබෙනවා.

>> කැබිනට් ප‍්‍රකාශකවරයා පැවැසුවේ නව ව්‍යවස්ථාවට ෆෙඩරල් ආකෘතියක් කිසිසේත් අන්තර්ගත වෙන්නේ නෑ කියලයි. සහතිකය විශ්වාස නැද්ද?
මේ ගේන්න හදන්නේ 2000 දී එයා ගේන්න හදපු ව්‍යවස්ථාවයැයි චන්ද්‍රිකා මැතිනිය කිව්වා. 2000 ව්‍යවස්ථාව ඉරලා පුච්චලා දැම්මේ ඇයි? ඒක පදනම් වුණේ ෆෙඩරල් ආකෘතියක් මතයි. ඕකට ප‍්‍රතිචාරයක් හැටියට රාජිත සේනාරත්න මහත්තයා කියන්නේ 2000 ව්‍යවස්ථාව ගේන්නේ ඒකීය ආකෘතියක් ඇතුලේ කියලයි. ෆෙඩරල් ආකෘතියක එකක් ඒකීය ආකෘතියක් ඇතුෙළ් ගේන්නේ කොහොමද? 13 වැනි සංශෝධනයෙන් වුණෙත් ඕකයි. ජිනීවා යෝජනා සම්මතයෙන් 13 ක‍්‍රියාත්මක කරන බවට ආණ්ඩුවම පොරොන්දු දුන්නා. චන්ද්‍රිකා මැතිනියත් ඇතුළුව කිසිදු රජයක් ඒක ක‍්‍රියාත්මක නොකළේ ආයුධ සන්නද්ධ හමුදාවක් ප‍්‍රාන්ත මහ ඇමැති කෙනකු යටතේ තබාගැනීමේ අනතුර ඔවුන් දැක්ක නිසයි. මොකද ඒකෙ තිබෙන ආකාරයට පොලිස් හා ඉඩම් බලතල ක‍්‍රියාත්මක කළානම් මේ රට දින කීපයකින් වෙන් වෙනවායැයි විවාදයක් නෑ. ඒ කියන්නේ ලේබල් එක මාරු කරලා මේ රට ෆෙඩරල් කරන්නයි යන්නේ. 

>> නමුත් මේ සියල්ල සිදුවන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරැන් ඇතුළුව විපක්ෂයත් සම්බන්ධ කරගත් වැඩපිළිවෙළකිනුයි. විරුද්ධ මත ඒ තැන්වලදී දක්වන්න බැරිද? 
රජය පත්කළ කිසිම කමිටුවක ඒකීය රාජ්‍යක් වෙනුවෙන් පෙනී සිටින විශේෂඥයන් සම්බන්ධ කරගෙන නෑ. එතකොට ඔවුන්ගේ හොර වැඩ ටික අහුවෙනවනෙ. එක හොර වැඩක් කියන්නම්. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ ආගම් පිළිබඳ මූලික අයිතිවාසිකමට අලුත් වචනයක් ඇතුළත් කරලා තිබෙනවා. ඒ, ආගම් ප‍්‍රචාරණයයි. ඒ වගේම සමලිංගික විවාහ ප‍්‍රචාරණයට පුරවැසියන් නොවන අයට ඔවුන්ගේ සංස්කෘති ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචලිත කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා. දැනට තිබෙන්නේ පුරවැසියන්ට පමණයි. මේක ලංකාව බටහිර ග‍්‍රහණයට ගැනීමේ කූට වැඩක්. 

>> අලුත් ව්‍යවස්ථාවකට ජන වරමක් නැතැයි එජනිස මහලේකම් කියද්දී ජාතික හෙළ උරුමය සිටින්නේ බලය බෙදීමට විරුද්ධ ස්ථාවරයකයි. ඔබ කියන ආකාරයට ආණ්ඩුව දියත් කරන්නේ රටට හානිකර වැඩපිළිවෙළක්නම් ඊට පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක් ලබාගන්න පුළුවන්ද?
ජනතාව නිදාගෙන සිටියොත් ඔවුන්ට ඒක කරගන්න හැකියැයි මම හිතනවා. ඔවුන් බලන්නේ ජනතාවට පිටුපාලා මේක කරගන්නයි. මේ ව්‍යවස්ථාවට පක්ෂ වුණොත් අපි නුඹලාට ඡන්දය දෙන්නේ නෑ කියලා ජනතාව තමන්ගේ නියෝජිතයාට කිව්වේ නැත්නම් ඔවුන් මේක සම්මත කරගනීවි. 

>> ඒ කියන්නේ පාර්ලිමේන්තු නියෝජිතයන් ස්වාධීන නැද්ද?
මේ ඉන්න මන්ත‍්‍රීවරැ තමන්ගේ පක්ෂ නායකයන් කියන ඕනෑම දෙයක් කරාවි. හරිද වැරදිද කියලා බලන්නේ නෑ. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. දෙමළ ජාතික සන්ධානයට සැලැස්මක් තිබෙනවා. අපි උතුරැ නැගෙනහිර ජනමත විචාරණයක් තිබ්බොත් ෆෙඩරල් රාජ්‍යයක් තමන්ට අවශ්‍යයැයි කියන්න ඔවුන් සූදානම්. මුස්ලිම් අන්තවාදී පක්ෂවලත් උදව් ඇතිව 80෴ ක් 90෴ක් ඊට පක්ෂ වුණොත් මේ ව්‍යවස්ථාව අනවශ්‍ය දකුණට පමණක්යැයි ඔවුන් ජාත්‍යන්තරයට ගිහින් කියාවි. අනාගතයේදී මේ රටෙන් වෙන්වීමට ඔවුන් එය පදනමක් කරගනීවි. එනිසා මේ ක‍්‍රියාවලිය නිල වශයෙන් අවසානයක් කරා ගෙන යා යුතු බව මගේ අදහසයි. 

>> එහෙත් 2000 ව්‍යවස්ථා සම්පාදනයේදී ව්‍යවස්ථාව පිච්චුවේ එ.ජා.පයයි. ව්‍යවස්ථා කටයුතු ඇමැතිවරයා වුණේ ජී.එල්. පීරිස් මහතායි. මහින්ද රාජපක්ෂ මහතාත් ඊට අත එසවූවා. ඔවුන් නගන තර්ක ඔවුන්ගේම අතීතයට පටහැනියැයි එ.ජා.ප.ය නගන තර්කය වැරදිද?
ජී.එල්. පීරිස් මහත්තයා පක්ෂද නැද්ද කියන එක වැදගත් දෙයක් නෙවෙයි. ඔහු අද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් නෙවෙයි. 51 දෙනකුගෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය තිබෙන්නේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේයි. පාර්ලිමේන්තුව උත්තරීතර විය යුතු බවත් රටේ ඒකීයභාවය රුකිය යුතු බවත් ඇතුළුව ඔවුන් මෙහෙයුම් කමිටුවට කරුණු 12ක් ඉදිරිපත් කර තිබෙනවා. හිටපු ඇමැතිවරයකු හා අද පාර්ලිමේන්තුවේවත් නැති අයකු දරන මතය රටට වැදගත්යැයි මම හිතන්නේ නෑ. ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බව මුලින් කියා ඊළඟ ජනාධිපතිවරණයටත් ජනාධිපතිවරයාම තරග කළ යුතු බව කියන මිනිසුනුත් දැන් ඔය ඉන්නේ. ඒ විදියට දේශපාලකයෝ තමන්ගෙ අදහස් වෙනස් කරනවනෙ. 

>> 2020 දී මෛත‍්‍රීපාල සිරිසේන මහතාම ජනපතිවරණයට තරග කළ යුතුයැයි හඬක් එද්දී මෛත‍්‍රී මහින්ද පාර්ශ්ව එක්ව එජාපය පරාජය කළ යුතු බවටත් ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම අදහස් පළ වෙනවා. මේ කතාබස් සමඟ රටේ දේශපාලන අනාගතය කෙබඳු වේද?
අද ව්‍යවස්ථාව හදන්නේ දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය විදියටයි. මධ්‍ය පර්යන්ත කමිටුවේ සභාපති හිටපු ප්ලොට් නායකයායි. ප්ලොට් නායකයා දාලා මේ රටේ නීති හදනවානම්, ජාත්‍යන්තරයේ ඉල්ලීම මත රණවිරැවන් දං ගෙඩියට යැවීමට විදෙස් විනිසුරන් ගේනවානම්, 2000 ෆෙඩරල් ව්‍යවස්ථාව ගේන්න ආණ්ඩුව කමිටු පත් කරනවා නම්, ව්‍යවස්ථා සම්පාදනයට උපදෙස් ගන්නේ පාක්‍යසෝති සරවනමුත්තුලාගෙන් නම් මේ රට විනාශ වෙනවා විනාශ වෙනවාමයි. ඒ නිසා නායකත්වය ශ‍්‍රීලනිප වේවා එජාප වේවා විජාතිකයන්ට අවශ්‍ය විදියට මේ රටේ නීති හා ප‍්‍රතිපත්ති සකස් කිරීම වහා නතර කළ යුතු බවට මහජනතාව ආණ්ඩුවට පණිවුඩයක් දිය යුතුයි. 

♦ සංවාද සටහන  - බිඟුන් මේනක ගමගේ