2018 ජනවාරි 20 වන සෙනසුරාදා

බැඳුම්කර මගඩියට නඩු 17 ක්!

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 560

I දේශපාලන වාර්තාකරු

මෑත ඉතිහාසයේ සිදුවූ බරපතළම මූල්‍ය වංචාව ලෙස සැලැකෙන මහ බැංකු බැඳුම්කර සිද්ධියට වගකිවයුතු චූදිතයන්ට එරෙහිව නඩු 17ක් පමණ පැවරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ ආරංචි මාර්ග කියයි.

දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හා මහාධිකරණය යන අධිකරණ තුනෙහි මෙම සිවිල් සහ අපරාධ නඩු පැවරෙනු ඇත. මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යාපනය තුළ නීතිපති දෙපාර්තමේන්තුව මෙම කටයුතු මෙහෙයවීමට නීතිපතිගේ විශේෂ නියෝග මත අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් දෙදෙනකු හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකුගෙන් සමන්විත මණ්ඩලයක් පසුගියදා පත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝෂියස්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ එහි ප්‍රධාන විධායක නිලධාරියාව සිටි කසුන් පළිසේන හා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකුව සිටි සමරසිරි යන අයට එරෙහිව අදාළ නඩු පැවරීමට අවශ්‍ය පියවර මේ දිනවල ගැනෙමින් තිබෙන බව නීති අංශ ආරංචි මාර්ග කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට එරෙහිව දණ්ඩනීති සංග්‍රහය යටතේ අපරාධ නඩු පැවරීමට යන්නේ බැඳුම්කර කොමිසමට නිවැරදි තොරතුරු නොසැපයීමේ චෝදනාව මත බව කියැවේ. එසේම ඔහු පර්පෙචුවල් සමාගම සමඟ කළ ගනුදෙනුවක් හේතුවෙන් අල්ලස් පනත යටතේද නඩුවක් පැවරෙනු ඇතැයි පැවසේ.

අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස්, කසුන් පලිසේන සහ සමරසිරි යන අයටත් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමටත් එරෙහිව එන සෙසු නඩු අලාභ අයකර ගැනීම, අල්ලස් දූෂණ පනත යටතේ වන වැරදි හා අපරාධ වැරදිවලට අදාළව පැවරෙනු ඇත. මෙයින් මහාධිකරණයේ අධි චෝදනා මත විභාග කෙරෙන නඩු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට සැලසුම්කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01