2018 ජනවාරි 13 වන සෙනසුරාදා

පැළ තවාන්කරුවන්ට බඩේ පාර වැදිලා

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

I යසවර්ධන රුද්‍රිගූ

පසුගිය රජය මගින් පැළ තවාන්කරුවන්ට දී තිබූ බදු නිදහස වර්තමාන රජයෙන් නොලැබීම නිසා තම ව්‍යාපාරිකයන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බව සමස්ත ලංකා පැළ තවාන් හිමියන්ගේ සංගමයේ සභාපති දේශබන්දු බී.එස්.සී. කුමාර පවසයි.

2011 අංක 22 දරන දේශීය ආදායම් සංශෝධන පනත මගින් 2011 අප්‍රේල් මස 01 දින සිට 2016 අප්‍රේල් 01 දින දක්වා වසර පහක් සඳහා මෙම බදු සහනය ලබා දී තිබුණු අතර වර්තමාන යහපාලන රජය මගින් එම ගැසට් නිවේදනය අලුත් නොකළ නිසා තමන්ට එම සහනය හිමි නොවූ බව ඔහු කියයි.

ඒ නිසා ආදායම වසරකට ලක්ෂ පහ ඉක්මවූ පසු එතැන් සිට ලක්ෂ පහකට සියයට 4, 8 හා 12 වෂයෙන් ලක්ෂ පහෙන් පහට ගෙවිය යුතු බදු මුදල් ගෙවිය යුතුව ඇත. මෙවැනි විශාල බදු මුදලක් ගෙවීමට සිදුවීම නිසා වැඩි වශයෙන් ස්වයං රැකියාලභීන්ගෙන් සමන්විත පැළ තවාන් ව්‍යාපාරයට විශාල අගතියක් සිදුව ඇති බව සභාපතිවරයා අනාවරණය කළේය.
එසේම පොහොර, රසායන, කම්කරු ගාස්තු ඇතුළු බොහෝ නිෂ්පාදන සාධකවල මිල ඉහළ නැග තිබුණද මෙතෙක් බද්ධ පැළවල මිල ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යංශය අවසර දී නැත. මේ පිළිබඳ සංගමය ඇමැතිවරයා සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස 2018 ජනවාරි 01 දින සිට මිල වැඩි කිරීමට අවසර දෙන බව ප්‍රකාශ කළද මෙතෙක් එය සිදුවී නොමැති බවද ඒ හේතුවෙන් තවම 2011 වසරේ මිලට පැළ අලෙවි කිරීමට සිදුව ඇති බවද කියයි.

රජයේ බීජ ගොවිපලවල් හා පැළ තවාන් වර්තමානයේ අකර්මණ්‍යව පවතින පසුබිමක මුළු රටටම අවශ්‍ය පළතුරු බද්ධ පැළ හා බීජ පැළ නිෂ්පාදනය කරන්නේ තම ආයතනය මගින් බව පවසන සභාපතිවරයා දැනට 400කට අධික පැළ තවාන්කරුවන් සංඛ්‍යාවක් දිවයින පුරා මෙම ව්‍යාපාරයේ යෙදී සිටින අතර සෘජුව සහ වක්‍රව ආදායම් ලබන්නන් 5000 පමණ ඇතැයි කියයි.