2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

කොළඹ නගර සභාව බණ්ඩාරනායක සමරුහලට

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

රජිත ජාගොඩ ආරච්චි l

එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත්වන මන්ත්‍රීන් ගණන දෙගුණයකටත් වැඩි සංඛ්‍යාවකින් ඉහළ යාම හේතුවෙන් මාසික සභා වාර පැවැත්වීමට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව යොදාගැනීමට සැලසුම් කර ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා දේශය කළ විමසීමකදී පැවසීය.

පළමු සභාවාර කිහිපය මෙසේ නගර සභාවෙන් පිටත පැවැත්වීමට වැයවන මුදල් දැනටමත් නගර සභා භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇති බවත් ප්‍රමාණවත් ශාලා පහසුකම් නොමැතිවීමේ ගැටලුවට දීර්ඝකාලීන විසඳුමක් ලබාගැනීම නගර සභාවට පත්වන මන්ත්‍රීවරුන්ට පැවරෙන බවත් ඒ මහතා සඳහන් කළේය. 

කොළඹ මහ නගර සභාවේ මෙතෙක් පැවැති මන්ත්‍රී ධූර සංඛ්‍යාව 53ක් වූ අතර නව ඡන්ද ක්‍රමය යටතේ එම සංඛ්‍යාව 110ක් දක්වා වැඩිවී තිබේ.

බොහෝ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව දෙගුණයක් හෝ ඊට ආසන්න ප්‍රමාණයකින් වැඩිවී ඇති නිසා මන්ත්‍රී ආසන, මේස, මයික්‍රෆෝන ඇතුළු බොහෝ පහසුකම් වැඩිදියුණු කිරීමට සිදුව ඇත. ඒ සඳහා මධ්‍යම රජයෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් නොවන නිසා ඒ ඒ පළාත් පාලන ආයතනවලට තනි තනිවම ඒ සඳහා මුදල් සපයාගැනීමට සිදුව ඇති බව ද පළාත් පාලන ආයතන ගණනාවක ලේකම්වරුන් සමඟ අප සිදුකළ කතාබහේදී අනාවරණය විය.