2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

පුංචි ආණ්ඩුවෙන් කෝටි 156 ක් ජනතා කර පිටට

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 156

රජිත ජාගොඩ ආරච්චි l

නව සීමා නිර්ණය කිරීම් අනුව පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව සියයට 86කින් ඉහළ ගොස් ඇති නිසා ඔවුන්ට වාර්ෂිකව වැටුප් සහ දීමනා ගෙවීම සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 156ක් පමණ වැය කිරීමට සිදුව ඇතැයි පළාත් පාලන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර පැවැති ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන්ට වැටුප් හා දීමනා ගෙවීමට වාර්ෂිකව රජය වැයකළේ රුපියල් කෝටි 84ක් පමණි. මේ අනුව නව ක්‍රමය හේතුවෙන් මන්ත්‍රී වැටුප් සඳහා රජයට දැරීමට සිදුවන මුදල රුපියල් කෝටි 72කින් පමණ ඉහළ යනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වාදෙයි.

උදාහරණයක් වශයෙන් කොළඹ මහ නගර සභාව ගත්කළ මීට පෙර එහි මුළු සභික සංඛ්‍යාව 53ක් වූ අතර නව ක්‍රමය යටතේ කොළඹ මහ නගර සභාවේ මුළු සභික පිරිස 110ක් වනු ඇත. ඒ අනුව කොළඹ නගර සභාවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීමට මාසිකව රුපියල් ලක්ෂ 22ක් පමණ වැයවෙනු ඇතැයි ගණන් බලා තිබේ. මීට පෙර ඒ සඳහා කොළඹ මහ නගර සභාවට වැය වූයේ මාසිකව රුපියල් ලක්ෂ 10ක් පමණි. ඒ අනුව කොළඹ නගර සභාවේ පමණක් මන්ත්‍රී වැටුප් සඳහා වැය වන මුදල සියයට එකසිය විස්සකින් වැඩිවී තිබේ.

කලින් පැවැති ක්‍රමය අනුව පළාත් පාලන ආයතනවල සිටි මුළු සභික සංඛ්‍යාව 4486ක් වන අතර නව ක්‍රමය යටතේ එම සංඛ්‍යාව 8356ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ පිරිස දිවයින පුරා පළාත් පාලන ආයතන 341ක් (මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 271ක්) නියෝජනය කිරීමට නියමිත ය.

මෙම වැටුප් සහ දීමනා ගෙවීමට යෙදවිය යුතු අතිරේක ප්‍රතිපාදන පළාත් පාලන අමාත්‍යංශයට අධික වැය බරක් වී ඇතැයි ද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.