2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

හම්බන්තොට ගනුදෙනුවට බැන්න රටකට චීනයෙන් උත්තර

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 502

I දේශපාලන වාර්තාකරු

ඇතැම් බලගතු රටවල් මෙන් නොව චීනය ශ්‍රී ලංකාවට සැඟවුණ අරමුණු ඇතිව උදව් කරන්නේ නැතැයි ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති ඊ ෂිඈන් ලි ඇන් මහතා මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටී.

එක්තරා බලවත් රටක ශ්‍රී ලංකාවේ වෙසෙන තානාපතිවරයකු හම්බන්තොට වරාය චීනයට පැවරීම ගැන දෝෂාරෝපණ මුඛයෙන් කර තිබෙන ප්‍රකාශයක් උපුටා දක්වන තානාපතිවරයා සෙසු රටවල් ප්‍රතික්ෂේප කොට හම්බන්තොට වරාය එක් රටකට පමණක් භාවිතයට ඉඩ දී ඇතැයි යන ප්‍රකාශය වැරදි බව සඳහන් කරයි. හම්බන්තොට වරාය ලෝකයේ සියලු රටවල නැව්වලට විවෘත කිරීම සිය අරමුණ යැයි ද හෙතෙම අවධාරණය කරයි.

එසේම චීනය ශ්‍රී ලංකාවට ස්ථිරසාර ණය බරක් පටවා ඇතැයි අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් වේල්ස් මහත්මිය කළ ප්‍රකාශය මුළුමනින්ම පදනම් විරහිත කතාවක් යැයි කියන තානාපතිවරයා චීනය ශ්‍රී ලංකාවට සැපයුවේ සහන ණය හා ආධාර යැයි ද කියයි. එම වැඩසටහන් යටතේ දෙරට අතර තානාපති සබඳතා ඇති වූ දිනයේ සිට මේ දක්වා රුපියල් බිලියන 220ක ආධාර සැපයූ බවත් බොහෝ ණය සඳහා චීනය අය කළේ 2%ක සහන පොලියක් බවද සඳහන් කර සිටී.

යුරෝපයේ බොහෝ රටවල් එම යුතුකම හෝ ඉටුකිරීමට ඉදිරිපත් නැතැයි ද පවසන හෙතෙම නිශ්ඵල කතාවලින් තොරව චීනය නිතරම මිත්‍රශීලීව ශ්‍රී ලංකාවට උදව් කරන රටක් යැයි ප්‍රකාශ කරයි.