2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

දොස්තරලා වෛද්‍ය පුහුණුව එපා කියයි

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

I රජිත ජාගොඩ ආරච්චි

සීමාවාසික වෛද්‍ය පුහුණුව සම්පූර්ණ කළ රජයේ වෛද්‍යවරු 880 දෙනකුගෙන් 700 දෙනකුම සයිටම් අර්බුදය නිම වනතුරු තම වෛද්‍ය පත්වීම් භාරගැනීම ප්‍රතික්ෂේප කරන බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපි යොමු කොට තිබේ.

තවද විදේශීය විශ්ව විද්‍යාල හරහා වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ වෛද්‍ය සිසුන්ට මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට පෙර මුහුණදිය යුතුව ඇති act 16 විභාගය ද ඉකුත් මැයි මාසයේ සිට මේ දක්වා පවත්වා නොමැත. ඒ එහි විභාග පරීක්ෂකවරු ලෙස ක්‍රියාත්මක වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය පීඨ ආචාර්යවරු ඉන් ඉවත්වීම හේතුවෙනි. මෙනිසා 3600කට අධික විදෙස් වෛද්‍ය උපාධිධාරීහු පිරිසක්ද මේ වනවිට විශාල ගැටලුවකට මුහුණ දී සිටිති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු කියාසිටියේ, රජයේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයින් මාස ගණනාවක් තිස්සේ පන්ති වර්ජනයක යෙදෙන මේ මොහොතේ විදෙස් වෛද්‍ය විද්‍යාලවලින් උපාධිය සම්පූර්ණ කළ ශිෂ්‍යයන් සඳහා පමණක් අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙලකට යා නොහැකි බවය. 

එම තත්ත්වය හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට උග්‍ර වෛද්‍යවරුන්ගේ හිඟයකට මුහුණපෑමට සිදුවනු ඇතැයිද වෛද්‍ය සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කෙරුණු කමිටුව සමඟ ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවකදී ලබන සඳුදා වනවිට සයිටම් පිළිබඳ රජයේ මතය අධිකරණයට ඉදිරිපත් කරන බව ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පොරොන්දු වී ඇතැයිද දැනගන්නට තිබේ.

කෙසේ වුවද, ඇතැම් සරසවි වෛද්‍ය පීඨවලින්, වෛද්‍ය උපාධි ලබා සිටින සීමාවාසික පුහුණු අපේක්ෂකයන්ට දැනුම් දී ඇත්තේ, වහාම ඊට අදාළ පත්වීම් භාරගන්නා ලෙසය.