2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

රුපියල් දහයේ ලොතරැයි සටන

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

මෙරට ජීවත්වන වැඩි පිරිසකගේ ජීවන චර්යාවේ අනිවාර්යය අංගයක් වන තරමටම ලොතරැයිය ජනතාවට සමීපව පැවැති කාලයක් තිබිණි. රුපියල් 20ක් වැනි සුළු මුදලක් වැයකර ලක්ෂපතියෙක්, කෝටිපතියෙක් වීමේ හැකියාව යම් කෙනකු සතුවූයේ නම් ඒ ලොතරැයි දිනුමකින්ම පමණි. දිනපතා සිදුකෙරෙන නොයෙකුත් කාර්යයන්ද සමඟ ලොතරැයි පතක් හෝ දෙකක් මිලදී ගන්නටද බොහෝදෙනා හුරුවූයේ තම තමන් සතුවූ වාසනා මහිමය කොතරම්දැයි උරගා බලන්නටය.

ලොතරැයිවල පැරුණි කතාව එසේ වෙද්දී අද අපට අලුතෙන්ම කියන්නට ඇත්තේ වෙනත් කතාවකි. ඒ හෙට අනිද්දා ලොතරැයි කර්මාන්තයේ සිදුවන්නට යන නව පෙරළිය සම්බන්ධයෙනි. එනම් මෙතෙක් විස්සට පැවැති ලොතරැයි පතක මිල ඉහළ යාම සම්බන්ධයෙනි. මෙම මිල ඉහළ යාමත් සමඟ ලොතරැයි කර්මාන්තය කොයිබටද යන්න අද බොහෝ දෙනකු තුළ මතුව ඇති ගැටලුවයි. 

ජනවාරි පළමු වැනිදා සිට ලොතරැයි පතක මිල රුපියල් 30 දක්වා වැඩිකිරීම රජය සූදානම් වන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සුබසාධක සංගමය මගින් අනාවරණය කළේ මීට දින කිහිපයකම ඉහතදීය. ඒ අනුව මේ වනවිට රුපියල් 20ක්ව පැවැති ලොතරැයි පතක මිල රුපියල් 10කින් ඉහළ යනවා ඇත. මිල ඉහළ දැමීම කෙරෙහි දැඩි විරෝධතාවයන් ලොතරැයි අලෙවි නියෝජිතයින්ගෙන් මේ වනවිටත් එල්ලවෙමින් පවතින අතර ඔවුන් වැඩිදුරටත් නිසා සිටින්නේ පළවැනිදා සිට ලොතරැයි මිල ඉහළ දැමුවොත් තමන් ලොතරැයි අලෙවියෙන් ඉවත් වන බවයි.

ලොතරැයි සම්බන්ධ ඉතිහාසය ගත්විට එය මෙරට ක්‍රියාත්මකවී අඩසියවසකුත් ගෙවී අවසන්ය. අපේ සංස්කෘතියට පිටතින් එක්වූ දෙයක් වුවද එය අද මෙරට සමාජගත වී ඇත්තේ තම වාසනාව උරගා බැලිය හැකි සරල හා පහසුම ක්‍රමයක් වන නිසාය. 1949 දී එවකට පළාත් පාලන අමාත්‍ය ධුරය දැරූ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.සී. බණ්ඩාරනායක ලොතරැයියක් ඇරඹිය යුතුය යන සංකල්පය ඉදිරිපත් කළේ මෙරට සෞඛ්‍ය හා වෛද්‍ය සේවාවේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන වඩාත් පුළුල් ජනතා සේවයක් ලබාදීම සඳහා අරමුදල් සපයාගැනීමේ යහපත් චේතනාවෙනි. ඒ අනුව 1955 අංක 4 දරන ආරෝග්‍ය ශාලා ලොතරැයි පතක මගින් ලොතරැයියක් පළමුවරට ඇරඹිණි. අහිංසක රෝගී ජීවිතයක් බේරා ගනිමු යන්න තේමා කරගනිමින් එදා ශත 50 වටිනාකමින් යුත් ලොතරැයියක් ආරම්භ වූ අතර එය ඉතා ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ජාතික ලොතරැයි මණ්ඩලයද, පසුකාලීනව සංවර්ධන ලොතරැයි මණ්ඩලයද ආරම්භ විය. 

එදා සතියකට එක් දිනුම් ඇදීමකින් ආරම්භ වූ මෙම ලොතරැයි ව්‍යාපාරය අද වනවිට සතියේ දින හත පුරාම විවිධ ලොතරැයි හරහා ජයග්‍රාහකයන් බිහිකරන අතර රුපියල් 20 වැනි සුළු මුදලකට අලෙවි වූ ලොතරැයි පත් හරහා රුපියල් කෝටි ගණනක් වූ මුදල් තෑගිද පිරිනැමීමට කටයුතු කර ඇත. මේ ආකාරයට ගොඩනැඟුණු ලොතරැයි ව්‍යාපාරයෙන් අද වනවිට විශාල පිරිසක් යැපෙන අතර ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලොතරැයි පත් මිල ඉහළ දැමීම ඔවුන් දකින්නේ තමන් වෙත නිකුත් කළ රතු එළියක් ලෙසිනි. 

ඒ සම්බන්ධයෙන් අදහසක් දැක්වූ මාතලේ ලොතරැයි අලෙවි නියෝජිතයකු වන එච්.ජී. රෝහණ මහතා:

දැන් මේ පවත්වාගෙන යන ක්‍රමවේදය තුළින් බොහෝම අමාරුවෙන් තමයි ලොතරැයි පත් අලෙවි කරගන්නේ. නමුත් ලොතරැයි සහායකයෝ හා අලෙවි නියෝජිතයෝ එකතුවෙලා කොහොම හරි මේ අලෙවිය කරගෙන යනවා. ජනවාරි පළමුවැනිදා ඉඳලා ලොතරැයියක මිල රුපියල් 30ක් කිරීමත් එක්ක පාරිභෝගිකයා මේ වනවිටත් තීරණය කරලා ඉවරයි ටිකට් පත් මිලදී නොගෙන ඉන්නට. මේ අනුව අපට තේරෙන විදිහට අපේ බලාපොරොත්තුව පළමු කාල සීමාව ඇතුළත ලොතරැයි අලෙවිය සියයට 70කින් වත් පහත බසීවි කියලා.

අනිත් එක තමයි ලොතරැයි පත් මිලදී ගැනීම සඳහා අපි හිතමු මේ වෙද‍්දි ලොතරැයි ලක්ෂයක් විදයම් කරන්නට හිටියා කියලා. නමුත් අපිට සිදුවෙනවා අලුත් අවුරුද්දේ ඉඳලා ඒ වෙනුවෙන් යොදවන මුදල ඊට වඩා වැඩි කරගන්නට. එතකොට ආපහු ලොතරැයි අලෙවි නියෝජිතයාට දෙන කමිෂන් එක විදිහට මේ රුපියල් දහයට එකතු කරලා තියෙන්නේ ශත 50 ක්. නමුත් ලොතරැයි විකුණන පුද්ගලයා අපෙන් එක ලොතරැයියකට රුපියල් 4ක් ඉල්ලනවා. එතකොට අලෙවි නියෝජිතයාට ලැබෙන දෙයක් නෑ. මේක පවත්වාගෙන යන්න අමාරුයි. අනිවාර්යයෙන්ම ලොතරැයි ව්‍යාපාරය කඩා වැටෙනවා මේ මිල වැඩි කිරීමත් එක්ක. යහමින් මිල මුදල් තියෙන සුළු පිරිසක් විතරක් ඉදිරියේ දී මේක පවත්වාගෙන යයි.

ආණ්ඩුවටත් කරදරයක් නැතිව, සමාජයටත් කරදරයක් නැතිව ආණ්ඩුව හා සමාජය යන දෙකම පෝෂණය කරමින් තමන්ගේම ස්වාධීනත්වයකින්, තමන්ගේම ක්‍රමවේදයකට අනුවනෙ ලොතරැයි අලෙවි නියෝජිතයන් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. අපිට මේ සඳහා කාගෙන්වත් හයියක් ලැබෙන්නේ නැහැනෙ. ඉතින් ලොතරැයි අලෙවි නියෝජිතයා අනාථ භාවයට පත්වුණ ගමන් ඒ යටතේ ඉන්න ලොතරැයි අලෙවි  සහායකයාත් සම්පූර්ණයෙන්ම කරකියාගන්න දෙයක් නැතිව අතරමං වෙනවා. පාරෙ ටිකට් විකුණන පුද්ගලයා තමයි නිතරම ජනතාවත් එක්ක ගැවසෙන්නේ. ඒ අය අපිට නිතරම දෙන පණිවිඩය තමයි පළවැනිදා ඉඳලා කවුරුත් ටිකට් ගන්න කැමති නෑ කියන එක. 

නාරාහේන්පිට ප්‍රදේශයේ අලෙවි නියෝජිතයකු වන අනුර මහතා:

දැනට අවුරුදු 32ක් වෙනවා මේ ව්‍යාපාරය ආරම්භ කරලා. එදා මෙදාතුර වෙනස අපිට හොඳට තේරෙනවා. ඉස්සරහට මොනවද වෙන්නෙ කියලත් හරියටම කියන්න බෑ. මිනිස්සුන්ට එපාවීමක් ඇතිවුණොත් ආයෙත් ඒක හදන්නත් බෑ. කොහොමත් මිල ගණන් වැඩිවීමත් එක්ක අලෙවි වන ප්‍රමාණය අඩුවෙයි කියලා තමයි අපි නම් බලාපොරොත්තු වෙන්නේ.

මේ අතර එම ප්‍රදේශයේම ලොතරැයි අලෙවියේ යෙදෙන ජයන්ත මහතාද අප සමඟ පැවසූයේ මිල ගණන් වැඩිවූවොත් මෙය ඉදිරියට පවත්වාගෙන යාම වඩාත් අසීරු කටයුත්තක් බවයි. එසේම දැනටමත් ටිකට් පතේ මිලදී ගැනීමට පෙර පාරිභෝගිකයන් ටිකට් පතක මිල විමසන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ලොතරැයි පත්වල මිල ඉහළ යාම සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සමන් ජයසිංහ මහතා අප සමඟ කියා සිටියේ රජය මගින් එක් ලොතරැයි පතක් සඳහා රුපියල් 5ක බදු මුදලක් පැනවීම මෙලෙස ලොතරැයි මිල ඉහළ දැමීමට හේතු වූ බවයි. මෙම තීරණය ලොතරැයි මණ්ඩලවල තීරණයක් ලෙසට ඒ මහතා වැඩිදුරටත් පැවසූ අතර අප මේ සම්බන්ධයෙන් කරැණු විමසීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ශාමිලා පෙරේරා මහත්මිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

 

♦ හේමමාලා කුමාරි රාජකරුණා
සේයාරූ l සුමුදු හේවාපතිරණ