2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

තත්ත්වය බරපතළයි හාල් මිල තව නගීවි - වෙළෙඳ සංගම් සභාපති කියයි

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 338

යසවර්ධන රුද්රිගු l

දැනට කිලෝව රුපියල් 100 ඉක්මවා ඇති සහල් මිල ඉදිරියේ දී තවදුරටත් වැඩි විය හැකි බව සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා පවසයි.

එයට ප්‍රධාන හේතුව වන්නේ දැනට ලොව ඇතිවෙමින් පවතින සහල් හිඟය බවද ඔහු පෙන්වා දෙයි. අමෙරිකාව සහ කොරියාව නුදුරු කාලයේ දී යුද්ධයකට අවතීර්ණ වේ යැයි පැතිර යන ආරංචි නිසා මේ වන විට ලෝකය පුරා ආහාර හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව ඔහු කියයි. එයට හේතුව ඉල්ලුම ඉහළ යාමය.

ඉන්දියාවේ මේ වන විට නාඩු සහල් මෙට්‍රික්ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 435 දක්වා දැනට ඉහළ නැග ඇති අතර මෙයට ස්වල්ප කාලයකට පෙර පැවැති මිල ඩොලර් 375 ක් බවද ඔහු කියයි. අද පවතින මිලට සහල් ආනයනය කළ විට ආනයන වියදම් සහ සෙසු වැය සමඟ නාඩු සහල් ඩොලර් 450 ඉක්මවා යා හැකි අතර ඒ අනුව සහල් කිලෝව රුපියල් සියයකට වඩා ඉහළ නැගිය හැකි බව ඔහු පෙන්වා දෙයි. ඒ නිසා අනාගතයේ දී ආනයනික සහල් අද පවතින මිලට අලෙවි කළ නොහැකි වනු ඇතැයි ඔහු කියයි.

ආනයනික සහල් මිල ඉහළ ගිය විට එයට අනුරෑප ලෙස දේශීය සහල් මිල ද ඉහළ යනු ඇත යන්න ඔහුගේ අදහසය. දේශීය සහල් කිලෝ 50ක මිටියකින් ලොකු මෝල් හිමියන් රුපියල් 500කට අධික ලාභයක් ලබාගන්නා බව පෙන්වා දෙන ඔහු එයට හේතුව අඩු මිලට සහල් අලෙවි කිරීමේ සැලසුමක් රජයට නොමැති වීම නිසා බවද කියයි.

එසේම ලොකු ලූණු මිල ඉහළ යාමට හේතුව අපේ රටේ මෙවර ලූණු අස්වැන්න වෙනත් වසරවල් හා සැසඳීමේ දී සියයට 5 තරමට අඩුවීම බව පෙන්වා දෙන හේ ලූණු සහ අලවලට මේ වන විට කිලෝවට රුපියල් 50ක බද්දක් රජය අය කරන බව කියයි. තම සංගමය ජීවන වියදම කමිටු රැස්වීමේ දී මෙම බදු අඩු කරන ලෙස ඉල්ලුවද ප්‍රතිඵලයක් නොවූ බවද ඔහු පවසයි.