2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

අන්තිමට මගේ නෝනටත් මෝචරියට යන්න වුණා!

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 06:10 926

ලෙඩාගෙ ලේ ඔයගොල්ලො කලින් චෙක් කළේ නැද්ද? ඇහුවා ජීවිතයක වටිනාකම මුදල් මත පමණක් ගණනය කරන්නේ නම් අතීතයේ සිට පැවති මිනිසත්කම අතුගෑවී හමාරය. සල්ලි ඉදිරියේ අහිංසක ජීවිත සෙල්ලම් භාණ්ඩ තරමට දමා සිය ව්‍යාපාරයේ නිරත ඇතැම් උගතුන් බුද්ධිය කෙළසා මිනිස්කම් හෑල්ලු කරමින් සිටිති.

ඇට මස් ලේ නහරවලින් සුසැදි ආත්මය හුස්ම පොදකින් ජීවත් කරද්දී රුපියල් ශත හඹායන පිරිස ජීවිත තුට්ටුවකට මායිම් නොකරති. ඇතිවාට නොව ජීවිතයට ආශාවෙන් සේසතම වියදම් කර ජීවිතය ඉල්ලද්දී සිත් රවටා ඒ මුදලටම මරණය අලෙවි කරන්නට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් ක්‍රියාකර ඇති බවට චෝදනා එල්ල වූයේ ඉකුත් දිනයකදීය.
ඉරේෂා ලක්මාලි ජීවන්දර (35) විවාහක තරුණ කාන්තාවකි. ඇගේ ගර්භාෂයේ කුඩා සැත්කමක් සිදුකරන්නට වෛද්‍ය උපදෙස් ලැබී තිබූ හෙයින් පසුගිය 20 වැනිදා පෙරවරුවේ ඇය මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ඇතුළත් වූවාය. වෛද්‍ය නිර්දේශය අනුව සිදුකරන්නට නියම වූයේ සරල සැත්කමක් වුවද සැත්කම අවසානයේ ජීවන්දර මහත්මියට සිදුවූයේ ජීවන ගමනෙන්ද නික්ම යාමටය.

සුළු සැත්කමක් සඳහා පෙනී සිටීමට ඈ ශල්‍යාගාරය වෙත කැඳවාගෙන යන අවස්ථාව වන තෙක්ම වෙනත් කිසිදු රෝගී තත්ත්වයකින් තොරව යහපත් සෞඛ්‍ය මට්ටමකින් පසු වූ නිසා අනපේක්ෂිත මරණය පිළිබඳව සැක සහිත බව ඥාතීහු පවසති.

මියගිය ලක්මාලි ජීවන්දර මහත්මියගේ ආදරණීය සැමියා එම්. චාමර දිනේෂ් මහතා පවසන්නේ මෙවැන්නකි.
අපි දෙන්නා විවාහවෙලා අවුරුද්දයි. ටික දවසකට කලින් බිරිඳට බඩේ කැක්කුමක් තිබුණා. ඒකට උඩුපිල වෛද්‍ය කොල්ලුරේ මහතාගෙන් ප්‍රතිකාර ගත්තා. පස්සෙ රාගම ලීසන්ස් රෝහලෙන් පසුගිය 14 වැනිදා වෛද්‍ය පරීක්ෂාවකට ඉදිරිපත්වෙලා වාර්තාවක් ලබාගත්තා. වෛද්‍ය වාර්තාව අනුව බිරිඳගේ ගර්භාෂයේ ගැටිති කීපයක් තිබෙන බව කීවා. එය සුළු සැත්කමකින් ඉවත් කළ හැකි බව කීවා. පසුව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වී.ඕ.පී. සුරංග හෙට්ටිපතිරගේ වෛද්‍යවරයා වෙත ගියා. එහිදී බාහිර රෝගී අංශයෙන් ගිය 20 වැනිදා උදේ 11ට විතර බිරිඳ රෝහලට ඇතුළත් කළා.

ලක්මාලි ජීවන්දර මහත්මිය එම රෝහලට ඇතුළත් කර තිබුණේ ඉකුත් 20 වැනි අඟහරැවාදා පෙරවරැවේය. ඇය එදිනම ස්කෑන් පරීක්ෂාවකට ලක් කරනු ලැබුවාය. අනතුරුව පවසා තිබුණේ බදාදා 21 පස්වරු 1න් පසුව බර ආහාර කිසිවක් නොගන්නා ලෙසත්, දියර වර්ග පමණක් පානය කරන ලෙසත්ය. එසේ පැය කීපයකින් පසුව සැත්කමට භාජනය විය යුතු බවටද දන්වා තිබිණ. 

එසේ සිට එදින රාත්‍රී 8.30ට පමණ සැත්කම සඳහා කැඳවූ බවත් ඒ වනතෙක් වෙනත් කිසිදු රෝගී තත්ත්වයක් නොවූ බවද චාමර දිනේෂ් මහතා ඇසීය.

සැත්කම සිදුකෙරෙන අතරතුර ඇගේ ඥාතීන් පිරිසක්ද රෝහලේ රැඳී සිටියහ. සුළු සැත්කමක් බවට ප්‍රකාශ කළද රාත්‍රී 10.15ට පමණ සිය බිරිඳ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළු කරන බව දුටු චාමර දිනේෂ් මහතා ඇතුළු පිරිස කලබල වූහ. ඒ වනවිටත් ඔවුන් දැක තිබුණේ සැත්කම භාරව සිටි සුරංග හෙට්ටිපතිරගේ වෛද්‍යවරයා රෝහල් පරිශ්‍රයේ ඇවිදිමින් සිටින බවය. එහිදී ඉදිරිපත් වූ ඥාතීන් වෛද්‍යවරයාගෙන් විමසා සිටියේ රෝගියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේ මන්දැයි කියාය.

අපි ඩොක්ටර්ගෙන් ඇහැව්වා ඇයි මේ අයි.සී.යූ. දැම්මේ කියලා. මෙතන බැරිනම් වෙන තැනකට ගෙනියමු කියලත් අපි කීවා. එතකොට එයා කීවා දෙන්න ඕන බෙහෙත් තුනම දීලා තියෙන්නේ. බය වෙන්න එපා, වෙන තැනකට ගියත් දෙන්නේ ඒ ටිකමයි කියලා. ඔපරේෂන් එකේදි හාර්ට් එක ටිකක් බහිනවා. ඒ නිසා ටිකකට නතර කළේ කියලා. ටික වෙලාවකින් කීවා හාර්ට් එක හොඳයි කියලා.

මේ අතරෙ රෝහලේ කාර්ය මණ්ඩලයේ කෙනෙක් අපෙන් ඇහුවා ඔයාලා කලින් ලෙඩාගේ ලේ චෙක් කළේ නැද්ද? කියලා. මේ වෙද්දි සිද්ධිය ඥාතීන්ට කියලා ගමේ අයත් ගොඩක් රෝහලට ඇවිත් හිටියා. රෝහල් කාර්ය මණ්ඩලයේ කාන්තාවක් හිටියා. ඇගේ නමත් මට මතකයි. ඇය අපට එක එක දේ සැරින් සැරේට කීවා. ඇදහිලි විශ්වාස ගැන කීවා. දේවාල ගැන කීවා. ඒවාගෙන් කරගත්තු දේවල් කීවා. එහෙම කියලා ඉක්මනට සනීප වෙන්න හිතලා බාරයක් වෙන්න කීවා.

කැමති නම් තෙල් සාත්තු කරගෙන ඇවිත් ගාන්න කීවා. අපි එහෙමත් කළා. ගමේ පංසලේ හාමුදුරැවෝ රෝහලට වඩම්වලා පිරිත් නූලක් ගැට ගැහුවා. මේ වෙද්දි ඥාතීන් ගොඩක් අයි.සී.යූ. එකට ආවා ගියා. එතැන හිටපු ඥාතීන් පිරිස රාත්‍රී 12.30 විතර වෙද්දි අඩුවුණා. කීප දෙනෙක් විතරයි හිටියේ.

රාත්‍රී 12.30ට පමණ දැඩි සත්කාර ඒකකය භාරව සිටියේ වෙනත් කාන්තාවකි. ඇය ඒ මොහොතේ එහි සේවය භාරගත් තැනැත්තියක් බවට පෙනෙන්නට විය. ඇය ඊට පෙර එම ස්ථානයේ සිදුවීම් කිසිවක් නොදන්නා තරමය. ඇය ඥාතීන්ගෙන් විමසා සිටියේ රෝගියාට ඇඳුම් ගෙනාවාද? දැන් රෝගියාව බලන්න අවශ්‍යද? යනුවෙනි. ලද අවස්ථාවෙන් එහි ගිය ඥාතීහු රෝගියා දෙස බලා සිට වහාම පිටතට පැමිණියහ. නමුත් කිසිවෙක් රෝගියා ස්පර්ශ නොකරන්නට වගබලා ගත්හ.

අපි අයි.සී.යූ. එකේ දොර ළඟින් ගියේම නෑ. ඇතුළට යන එන කෙනෙක් වුණත් අපට පේනවා. අලුයම 1.45ට විතර කාර්ය මණ්ඩලයේ කීපදෙනෙක් ඒ පැත්තට දිව්වා. දොරින් පිටත ඉන්න අපට සේරම පේනවා. ඒ මිනිස්සු අයි.සී.යූ. එක ඇතුළේ සද්දෙට හිනා වෙනවා. වෙන ඩොක්ටර් කෙනකුත් ආවා. අපි හිතුවා දැන් සිහිය ඇවිත් ඇති ඒකයි හිනාවෙන්නේ කියලා. ටික වෙලාවකින් ඒ ඩොක්ටර් එළියට ආවා.

බෑඩ් නිව්ස් එකක්... ටික වෙලාවකට කලින් රෝගියා මියගියා... කියලා කීවා. අපට හිතා ගන්න බැරිවුණා. අපි ඇයි මොකද වුණේ ඇහුවා. ඩොක්ටර් හේතුවක් නොකියාම යන්න ගියා...යැයි මියගිය කාන්තාවගේ නැගණිය පැවසූවාය.
එහි රැදීි  සිටි මියගිය තැනැත්තියගේ සැමියා ඇතුළු ඥාතීන්ට කිසිදු තොරතුරක් දැනගැනීමට අවස්ථාවක් නොවීය. අවසානයේ රෝහලේ ස්ථාවර දුරකථනයකට ඇමතුමක් ලබාගත්තද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා විසන්ධි කර තිබිණි. පිරිස පසුදින තෙක් එහිම රැඳී සිටියේය. එහිදී හමුවූ කාර්ය මණ්ඩලයේ අයෙක් කියා තිබුණේ සැත්කමට භාජනය කළ තැනැත්තියගේ ලේවල හිමොග්ලොබීන් අඩු වී ඇති බවය. මීට ඉහතදී එවැනි තත්ත්වයක් වාර්තා නොවූයෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද දන්වා සිටි බව කියයි. පසුව රෝහල් ආරංචි මාර්ගවලින් දැනගැනීමට හැකිවී ඇත්තේ මියගිය අයගේ පෙනහැල්ලට වතුර ඇතුළු වී ඇති බවය.

මෙහිදී ඥාතීන් චෝදනා කරන්නේ අවශ්‍ය මූලික පරීක්ෂණවලින් තොරව සැත්කමට භාජනය කර රෝගියාට ලේ අවශ්‍ය අවස්ථාවේ සේලයින් ලබාදී ඇති බවත් රුධිරය අඩු නිසා සේලයින් පෙනහලු වෙත ගමන් කර ඇති බවය.

පසුව පෙනහැල්ලේ ජලය තිබෙන බවට ප්‍රකාශ කර ඇත්තේ ඒ හේතුවෙන් බවට ඔවුහු චෝදනා නගති.
ඥාතීන් සැක කරනුයේ රෝගියා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන විට මියයන්නට ඇති බවය. සුළු සැත්කමක් වූවද මියගිය අයගේ උදරයේ විශාල කැපුම් තුවාල දකින්නට ලැබී ඇත. ඒ පිළිබඳ විමසීමේදී රෝහල් කාර්ය මණ්ඩලය කියා ඇත්තේ ශරීරයේ රුධිරය දකින්නට නොවූයෙන් රුධිරය උදරය තුළට ගලාගොස් ඇතිදැයි බැලීමට උදරය විවෘත කළ බවය.
එදින සැත්කම සිදුවෙමින් තිබියදී රෝහල් පරිශ්‍රයේ සිදුව ඇතැයි කියන ඇතැම් සිදුවීම් ඥාතීන්ට සැක සහිතය. එම රෝහලේ ආරංචි මාර්ග අනුව ඥාතීන්ට දැනගැනීමට හැකිවී ඇත්තේ සැත්කම අවස්ථාවේ පිටස්තර වෛද්‍යවරුන් කීපදෙනකු හදිසියේම එහි කැඳවා ඇති බවය. ඔවුන් සිය මෝටර් රථවලින් රෝහල් පරිශ්‍රයට පැමිණි විගස මෝටර් රථවල යතුරු ආරක්ෂක අංශ වෙත විසිකරමින් ශල්‍යාගාරය වෙත කලබලයෙන් දිවගොස් ඇතැයිද දැනගන්නට ලැබී ඇත.

එසේම සිද්ධියෙන් පසුදින රෝහලට ආසන්න නගරයක බස් නැවතුමක් අසලදී කෙනකු අපේ රෝහලේ ඊයේ ඔපරේෂන් එකකදී කාන්තාවකගේ නහරයක් කැපිලා... සිහිය එන්නැතිව ඔපරේෂන් කරන්න බැරිව එයා මැරිලා... යනුවෙන් පවසනු ආසන්නයේ සිටි හිතවතකුට ඇසී ඇති බවත් ඔහු මියගිය අයගේ ඥාතියකුට ඒ බව දන්වා ඇති බවත් ඥාතීහු පවසති.

 මරණය ගැන අපට කනගාටුයි 

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරී වෛද්‍ය බිමන්ත ගුණසේකර

ශෛල්‍ය කර්මය අතරතුර රෝගියාගේ හෘදය වස්තුවේ ගැටලුවක් ඇතිවී තිබෙනවා. එහිදී දැඩිසත්කාර ඒකකයට ඇතුල්කර තිබෙනවා. එතනදී අලුයම 2ට පමණ රෝගියා මිය ගිහින්. ඒ පිළිබඳව රෝහල සහ පෞද්ගලිකව මමත් කනගාටුව පළකරනවා.

මරණය සම්බන්ධයෙන් ඇයගේ ස්වාමිපුරුෂයාට සහ ඥාතීන්ට සැකයක් ඇතිවී තිබෙනවා. සිරුර පිළිබඳව මරණ පරීක්ෂණයක් සිදුකළා. එහිදී විවෘත තීන්දුවක් ලබාදුන්නා. සිරුර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා. ඉදිරියේදී වාර්තාව ලැබෙයි. එයට අපි ගරුකරනවා.

අන්තිමට මගේ බිරියගේ මිනිය රෝහලේ මෝචරියට දාලා තිබුණා. එතැන සී.ආර්. පොතක් තිබුණා. පොත පිරෙන්න මැරුණු අයගේ නම් ලියලා. ඒ රෝහලට යන සේරම මැරිලද හිතුණා. අන්තිමේ මගේ බිරියගේ මිනිය ගන්න සල්ලි ගෙවන්න වුණා. සල්ලි දෙනකම් මිනිය දුන්නේ නෑ. ගාස්තුව රු. 199,000ක්. පොඩි ගාණක් අඩු කරලා තිබුණා. හේතුව දන්නේ නෑ. අපි බාර දුන්නු රිපෝර්ට් ටිකවත් අපට දුන්නේ නෑ. ඒ ගැන ඇහුවාම කීවා ටෙස්ට් එක කරපු තැනට කතා කරලා කොපියක් අරගෙන දෙන්නම් කියලා.

අපට තේරෙන විදිහට මේ රෝහලේ කිසිම වගකීමක් නෑ. රෝගීන් ගැන අවධානයක් නෑ. මුදල විතරයි බලන්නේ. දැන් මගේ බිරියගේ ජීවිතය නැති වුණා. මේ තත්ත්වය ඉදිරියට නොවෙන්නයි යමක් කෙරෙන්න ඕනේ. ඒකෙන් රටට මිනිස්සුන්ට යහපතක් කෙරෙන්නයි අවශ්‍යයි. මේ නිසා මේ ගැන බලධාරීන්ගේ අවධානය වහාම යොමුවිය යුතුයි.

 මියගිය කාන්තාවගේ සැමියා වන චාමර දිනේෂ් මහතා පවසයි.

දෙල්ගොඩ පදිංචිව සිටි මියගිය ලක්මාලී ජිවන්දර මහත්මිය බියගම ප්‍රදේශයේ පිහිටි මූල්‍ය සමාගමක ලිපිකාරිනියක් වශයෙන් සේවය කළාය. රෝගී තත්ත්වය අනාවරණය කොටගෙන ශල්‍යකර්මය සඳහා දින හයක් ඇතුළත රෝහල් ගතවූ අතර එහිදී දින දෙකක් තුළ ජීවිතක්ෂයට පත්වීම ඇගේ ඥාතීන්ට බරපතළ ගැටලුවකි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කොළඹ අතිරේක වෛද්‍ය නිලධාරී එස්.සී.ඒ. හේවගේ මහතා මේ මරණය ගැන විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර