2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

වෙළෙඳ ඇමැති දොට්ට?

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 554

දේශපාලන වාර්තාකරු |

ජනතාව දැඩි ලෙස පීඩාවට පත්කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් පාලනයකින් තොරව ඉහළ යන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසා බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු ගණනාවක් ජනාධිපතිවරයාට පසුගියදා පැමිණිලි කළහ.

මේ සඳහා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා වගකිවයුතු බැවින් වහා ඔහු මෙම තනතුරින් ඉවත්කර බඩුමිල පාලනය නොකළොත් ආණ්ඩුව ඉදිරි මැතිවරණවලදී නියත වශයෙන්ම පරාජය වනු ඇතැයිද එම අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට අනතුරු අඟවා තිබේ.

පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද මෙම භාණ්ඩ මිල ඉහළ යාමේ ප්‍රශ්නය මත ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ප්‍රබල ලෙස චෝදනා නගා තිබේ. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉතා ඉක්මනින් භාණ්ඩ මිල ගණන් පාලනය නොකළොත් තමන්ට ඊට මැදිහත්ව තීරණාත්මක පියවර ගන්නට සිදුවන බවයි. කොළඹ තොග වෙළෙඳ පොළේ වෙළෙඳුන් හතර පස් දෙනෙකුට රටේ බඩු මිල ගණන් තීන්දු කරන්නට ඉඩදී ඇතැයිද චෝදනා නැගිණි. ඊට අමතරව වාණිජ කටයුත අමාත්‍යංශයට අයත් රජයේ ඉඩම් කිසිදු විවෘත ටෙන්ඩර පටිපාටියකින් තොරව විවිධ ව්‍යාපාරිකයන්ට පැවරීම ගැනද අමාත්‍ය බදුයුදීන්ගෙන් කැබිනට් මණ්ඩලයේදී ප්‍රශ්න කර ඇත. මෙම තත්ත්වය නිසා ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා වාණිජ කටයුතු අමාත්‍යවරයා ගැන තීන්දුවක් ගනු ඇතැයි ජනාධිපතිවරයාට සමීප රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රජයේ හවුල්කාර පක්ෂයක් වන සමස්ත ලංකා ජනතා කොංග්‍රස් පක්ෂයේ නායකයාය. එම පක්ෂයේ මන්ත්‍රීන් 5 දෙනෙක් මැතිසබය නියෝජනය කරති.