2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ක්‍රෙඩිට් කාඩ් පොලිය නග්ගයි

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 370

යසවර්ධන රුද්රිගු |

ශ්‍රී ලංකා මහබැංකුව මගින් ක්‍රෙඩිට් කාඩ් සඳහා පනවා තිබූ උපරිම පොලී සීමාව ඉවත්කර ඇත. ඒ අනුව මෙතෙක් පැවැති සියයට 24ක් වූ උපරිම පොලී සීමාව අහෝසි වීම නිසා බැංකුවලට හිතුමතේ ක්‍රෙඩිට් කාඩ් සඳහා පාරිභෝගිකයාගෙන් පොලී අයකර ගැනීමට අවස්ථාව සැලසී තිබේ. දැනටමත් ඇතැම් මූල්‍ය ආයතන ක්‍රෙඩිට් කාඩ් පොලිය සියයට 28 දක්වා ඉහළ දමා තිබේ. පොලී සීමාව ඉවත්කර ඇති නිසා අනාගතයේදී මෙයට වඩා ඉහළ පොලියක් වුවද අය කිරීමට එම ආයතනවලට හැකියාව ලැබේ.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයකු පැවසුවේ පොලී සීමාව ඉවත්කළද ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන බැංකු අතර තරගයක් පවතින නිසා පොලිය විශාල වශයෙන් ඉහළ නොයනු ඇති බවය.

එසේ වුවද දැනටමත් වැඩිකර ඇති සියයට 4 පොලිය නිසාද තමන් අපහසුතාවට පත්ව සිටින බව පවසන පාරිභෝගිකයෝ පොලිය අඩුකළ යුතුව තිබියදී වැඩිකිරීමට අවස්ථාව සලසාදීමෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව අවධාරණය කරති.