2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

නව ව්‍යවස්ථා සංශෝධනය

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 404

එජාපයෙන් යෝජනා නෑ! - - ලක්ෂ්මන් කිරිඇල්ල

ගයාන් ගාල්ලගේ |

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පක්ෂයේ යෝජනා නොදෙන බවත් සියලු පක්ෂවල එකඟතාවයට එක්සත් ජාතික පක්ෂය කැමැත්ත පළකරන බවත් මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා “දේශයට” පැවසීය. 

එක්සත් ජාතික පක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා අනෙක් පක්ෂවලට වේදිකාව සකසා දී ඇති නිසා සියලු පක්ෂ එකට එකතු වී එක් තීරණයකට පැමිණිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේ එකඟතාවයකට පැමිණිමෙන් අනතුරුව අවසන් තීරණයට එක්සත් ජාතික පක්ෂය එකඟතාවය පළකරන බව හෙතෙම පැවසීය. 

මෙම ව්‍යවස්ථාව පක්ෂයක ව්‍යවස්ථාවක් නොවන බවත් මෙය ජනතාවගේ ව්‍යවස්ථාවක් විය යුතු නිසාත් සියලු පක්ෂවලට ඊට මැදිහත් වීමට අවස්ථාව ලබාදී ඇති බව කිරිඇල්ල අමාත්‍යවරයා කීය. 

ශ්‍රීලනිපයෙන් නව යෝජනා! - මහින්ද අමරවීර

ගයාන් ගාල්ලගේ |

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ශ්‍රීලනිපය ලබාදුන් මූලික යෝජනාවලට අමතරව ඉදිරියේදි තවත් යෝජනා ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශයට පැවසීය.

නව කෙටුම්පත සඳහා මූලික යෝජනා ලබාදුන් බවත් එම යෝජනා සහ අනෙක් පක්ෂ අතර ඇති යෝජනා සමග සංසන්දනය කොට අවසන් තීරණයකට එළඹීමේදී යෝජනා වෙනස්කම් ඇති විය හැකි බවද අමාත්‍යවරයා කීය.

කෙසේ වෙතත් රටට සහ ජනතාවට හිතවාදී ව්‍යවස්ථාවක් සැකසීම ශ්‍රීලනිපයේ අරමුණ බවද ඒ මහතා සඳහන් කළේය. 

පනත පරද්දනවා! - මහින්ද රාජපක්ෂ

දේශපාලන වාර්තාකරු |

රාජ්‍ය නොවන සංවිධානවල වුවමනාවන් අනුව සකස් කළ නව ව්‍යවස්ථා කෙටුම්පත පරාජය කිරීම සඳහා අවශ්‍ය සියලු මෙහෙයුම් සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

මේ සඳහා දැනටමත් ඒකාබද්ධ විපක්ෂය විසින් කමිටු තුනක් පිහිටුවා ඇතැයි පැවසූ මහින්ද රාජපක්ෂ මහතා මහජන උද්ඝෝෂණ, දැනුම්වත් කිරීම් හා සෙසු මෙහෙයුම් එම කමිටු හරහා සිදුකරන බවද අවධාරණය කළේය. මහින්දානන්ද අලුත්ගමගේ, උදය ගම්මන්පිල හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් එම කමිටුවල කැඳවුම්කරුවන් ලෙස පත්කර තිබේ.

දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ හා උද්ඝෝෂණ මාලාවක් තුළින් යෝජිත ව්‍යවස්ථාවේ ජනතාවට අහිතර යෝජනා ඉවත් කරවා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය උපරිම කැපවීමෙන් ක්‍රියාකරන බවද හිටපු ජනාධිපතිවරයා කීය. විශේෂයෙන් ආගම, බලය බෙදීම, රාජ්‍යයේ ස්වභාවය වැනි කාරණාවලට අදාළ බරපතළ යෝජනා කිසිසේත්ම පිළිගත නොහැකි ඒවා බවද හිටපු ජනාධිපතිවරයා කීය.