2016 දෙසැම්බර් 28 වන බදාදා

ලංකා බැංකුව සෙලාන් කොටස් අතහැරීමේ පලහිලව්ව

 2016 දෙසැම්බර් 28 වන බදාදා, ප.ව. 12:54 257

 

ලංකා බැංකුවට අයත්ව තිබූ සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13ක් රජයේ අනුදැනුමකින් තොරව කොටස් වෙළෙඳපොළ හරහා විදේශ ආයෝජකයකුට විකිණීම පිළිබඳ විශාල සැකයක් මතුව ඇති නිසා ඒ ගැන පරීක්ෂණයක් කිරීමට රජය තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ. මේ පිළිබඳ කොටස් වෙළෙඳපොළ තුළද අර්බුදයක් මතුව ඇතැයි පැවසේ.  මෙම ගනුදෙනුව පිළිබඳ රජයට කිසිම දැනුම්දීමක් කර නැතැයි පවසන අතර මෙවැන්නක් සිදු කිරීමේදී අදාළ කොටස් හිමිකාරිත්වය ඇති ආයතනයට අයත් අමාත්‍යංශයේ අනුමැතිය අනිවාර්යයෙන් ලබා ගතයුතු නමුත් මෙම ක්‍රියාදාමය අනුගමනය නොකිරීම විශාල සැකයකට තුඩු දෙන බව ප්‍රකාශිතය. මේ තත්ත්වය සලකා මෙම කොටස් ගනුදෙනුව අත්හිටුවන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇති බවද රජය පවසයි.

මේ නිසා පසුගිය 19 දා එම ගනුදෙනුව අවලංගු කිරීමට එයට සම්බන්ධ දෙපාර්ශවයට එකඟ වූ අතර, අනතුරුව මේ වනවිට කොටස් වෙළෙඳපොළම මගින් එය අවලංගු කර තිබේ. එසේ වුවද මෙලෙස අවසරයකින් තොරව කොටස් අයෝජනය කිරීම පිළිබඳ මෙයට සම්බන්ධ ලංකා බැංකුවට සහ අනිකුත් ආයතනවලට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.

කෙසේ වුවද ලංකා බැංකු පාර්ශවයෙන් පැවසෙන්නේ මෙම ගනුදෙනුවේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවී ඇති බවය. තම බැංකුවේ අවශ්‍යතාව මත බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් උඩ මෙය ක්‍රියාත්මක කර ඇති බව දැනගන්නට ඇති අතර මෙම කොටස් වෙළෙඳපොළේ විකිණීම නිසි ක්‍රමවේදයකට අනුව සිදුකර ඇති බවද දැනගන්නට තිබේ. ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පහත සඳහන් අයගෙන් සමන්විත වේ. සභාපති රොනල්ඩ් පෙරේරා වන අතර නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කරනුයේ අජිත් ගුණවර්ධනය. අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා මුදල් අමාත්‍යංශයේ නියෝජිතයකු ලෙස නියෝජ්‍ය භාණ්ඩගාර ලේකම් එස්.ආර්. ආටිගල කටයුතු කරන අතර සෙසු අධ්‍යක්ෂවරුන් වන්නේ සංජය පද්මපෙරුම, රනිල් විජේසිංහ, චරිත විජේවර්ධන යන අයයි.

ලංකා බැංකු ආරංචි මාර්ගවල සඳහන් වන පරිදි 2012 වසරේ සී/ස සෙලාන් බැංකුවේ මූල්‍ය අර්බුදයක් ඇතිවී එය කඩා වැටීමට ලක්වෙමින් පැවැති අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් පරිදි සෙලාන් බැංකුවේ කොටස් විශාල වශයෙන් මිලට ගෙන මෙම අර්බුදය විසඳීමට මැදිහත් වීමට ලංකා බැංකුවට සිදුව තිබේ. එහිදී කොටසක් රුපියල් 35 බැගින් සෙලාන් බැංකුවේ කොටස් මිලියන 30ක් මිලට ගැනීමට ලංකා බැංකුවට සිදුවිය. මෙම ක්‍රියාමාර්ගය නිසා සෙලාන් බැංකුව කඩාවැටීමේ අවදානමෙන් ගොඩවීමට හැකි වූ අතර මේ වනවිට එම බැංකුව සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතී.

සාමාන්‍යයෙන් රාජ්‍ය වානිජ බැංකු ලබන ලාභයෙන් එක්තරා කොටස් බැංකුවේ නඩත්තු කටයුතුවලට තබාගෙන යම් කොටසක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමේ ක්‍රියා පටිපාටියක් පවතී. 2016 වසරේ මැද භාගයේදී ලංකා බැංකුව ලැබූ ලාභ වලින් රුපියල් බිලියන 18ක් (කෝටි 1800) පමණ මහ භාණ්ඩාගාරයට ගෙවන ලෙස නියෝග ලැබී තිබේ. මෙම මුදල සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු ලාභාංශවලට වඩා වැඩි ප්‍රතිශතයකි. එසේ වුවත් ආණ්ඩුවේ බලධරයන්ගේ මැදිහත් වීම මත එම මුදල ගෙවීමට බැංකුවට සිදුව තිබේ. එසේ වුවද එය ගෙවීමෙන් පසු ලංකා බැංකුවේ තිබිය යුතු ණය අනුපාතය අඩු වූ අතර එදිනෙදා වියදම් මෙන්ම ණය දීම ආදී සාමාන්‍ය රාජකාරි කටයුතු කිරීමේ දුෂ්කරතාවක් පැන නැගුණි. මේ නිසා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්  වී සෙලාන් බැංකුවේ කොටස් විකිණීමට තීරණය කළ අතර එහිදි තීරණය වි ඇත්තේ රුපියල් 35ක නාමික අගය ඇති සෙලාන් බැංකු කොටස් රුපියල් 100 බැගින් කොටස් වෙළෙඳපොළ තුළින් අලෙවි කිරීමටය. මේ සඳහා ආයෝජකයකු සොයාගැනීමට කොටස් වෙළෙඳපොළේ හවුල්කාර සමාගම්වලට ආරාධනා කෙරුණි.

මෙහිදී සීමාසහිත ජැපර්ජි සහෝදරයෝ සමාගමට අයිති ජේ.බී. සෙකයුරිටිස් තැරැව්කාර සමාගම හරහා ආයෝජකයකු සෙවීමට කටයුතු කළ අතර එමගින් ජපාන ආයෝජකයකු සොයාගත හැකිවිය. මෙවැනි ගනුදෙනුවකදී තැරැව්කාර සමාගමට සියයට 3ක පමණ ලාභයක් හිමිවන බව පැවසේ. මෙහිදීද අනුගමනය කර ඇත්තේ එම ක්‍රියාපිළිවෙළ බව දැනගන්නට තිබේ. මේ අනුව තැරැව්කාර සමාගම මගින් සෙලාන් බැංකුවේ සාමාන්‍ය කොටස් 13198305ක් රුපියල් බිලියන 1.32කට හෙවත් රුපියල් 1319830500කට අලෙවිකර ඇති අතර මෙම මුදල ලංකා බැංකුවට ලැබීමට නියමිතව තිබුණි. එසේ වුවද අගමැතිවරයාගේ නියෝගයක් අනුව දැනට මෙම ගනුදෙනුව නවතා තිබේ. මෙම වාතාවරණය නිසා කොටස් වෙළෙඳපොළට අහිතකර බලපෑමක් එල්ල වී ඇති අතර ලංකා බැංකුව ගත් ක්‍රියාපිළිවෙළ පිළිබඳවද ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි දැනගන්නට තිබේ. 

මෙම ගනුදෙනුව හරහා කොටස් වෙළෙඳපොළේ සෙලාන් බැංකුවට හිමිව තිබූ අගයට වඩා සියයට 17.6ක වැඩි අගයකට අලෙවි කර ඇති අතර මේ හේතුවෙන් සෙලාන් බැංකුවේ කොටසක අගය සියයට 5.5කින් ඉහළ ගොස් ඇත. කොටස් මිලදී ගත් ජපන් සමාගම ස්වකීය අයෝජන, සිංගප්පූරුව හරහා දැනටමත් මෙරටට ගෙන්වා ඇතිබවටද ආරංචි පළවේ. මෙම ගනුදෙනුව පිළිබඳ අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මුර්තසා ජැෆර්ජී පුවත්පත්වලට ප්‍රකාශ කර තිබුණේ මෙය අවලංගු කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් සමාගම සිටින බවය.

දැනට ඇතිව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ අදහස් පළකළ නම සඳහන් කිරීමට අකමැති වූ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගමක නියෝජිතයකු පැවසූවේ මෙම ගැටලුවේ දෙපැත්තක් ඇති බවය. එක් අංශයකින් කිවයුතු වන්නේ මෙවැනි සිද්ධි නිසා විදේශ ආයෝජකයන් කොටස් වෙළෙඳපොළ හැරයාමට ඉඩ ඇති බවයි. දැනටමත් කොටස් වෙළෙඳපොළ දරුණු ලෙස පහළ වැටි ඇති අතර කතා කරන අවස්ථාව (23) වනවිට සමස්ත පිරිවැටුම මිලියන 106 දක්වා පහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි. පසුගිය සමයේ දිගින් දිගටම කොළඹ කොටස් වෙළෙඳපොළ පහළ වැටුණු අතර බොහෝ ආයෝජකයන් ඉවත්ව යාම සිදුවී තිබේ. මෙයට දේශීය පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය මෙන්ම විදේශීය තත්ත්වයද හේතුවී ඇති බව ඔහු පවසයි. අද ඇත්තේ සම්පූර්ණයෙන් මියගිය වෙළෙඳපොළකි. (Dead Market) මෙම තත්ත්වයෙන් මිදිය යුතුව තිබියදී තවදුරටත් ප්‍රපාතයට වැටීම අවාසනාවක් බව ඔහු කියයි. මෙහි ණය පහසුකම් දීම අඩුවී සියයට 40 දක්වා පහළ බැස තිබීම නිසා කොටස් මිලදී ගැනිමේ පහසුකම් අඩුවී තිබේ. පොළී අනුපාතය රටේම ඉහළ යාමද අහිතකරව බලපා තිබේ.

මෙහි තවත් පැත්තක්ද තිබෙන බව ඔහු පවසයි. සෙලාන් බැංකුවේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලංකා බැංකුව එහි කොටස් මිලදී ගත් නමුත් ඒවා යළි විකිණීමට එයට අවසර නොමැති බව ඇතැමුන් පැවසීමය. එය ලංකා බැංකුව සතු කොටස් නොවන අතර වෙනත් බැංකුවකින් ගත් කොටස් වෙයි. මේවා පිළිබඳ යම් තීරණයක් ගන්නේ නම් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත් කළ යුතුව තිබුණි. එහෙත් එසේ කර නොමැති අතර එදින අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඇතැම් නියෝජිතයන් සහභාගී වී නොමැති බවද දැනගන්නට ඇතැයි ඔහු කියයි. ඒ නිසා මෙලෙස හදිසියේ කොටස් විකිණීමට තීරණය කිරීම වැරදි සහගත බව බැංකුකරුවන් වැඩි දෙනාගේ මතය බව ඔහු කියයි.

එසේම මෙහිදී කොටස් වෙළෙඳපොළින් කිසිදු වරදක් සිදුව නැති බව ඔහු පෙන්වා දුන්නේය. තැරැව්කරු තෝරාගෙන ඇත්තේ විකුණුම්කරු වන ලංකා බැංකුව විසිනි. මෙහිදී තැරැව්කරු විසින් අදාළ ආයෝජකයකු තෝරා දෙනු ලබයි. ඔහුට යම් කොමිස් මුදලක් හිමිවේ. ඒ නිසා මෙම විකිණීමේ ක්‍රියාවලියට කොටස් වෙළෙඳපොළේ සම්බන්ධයක් හෝ බලපෑමක් සිදුව නොමැත. ආයෝජකයා තේරීමේ විධිමත්භාවය හෝ පාරිශුද්ධත්වය ගැන සොයා බැලීම කොටස් වෙළෙඳපොළේ වගකීමක් නොවන අතර එය කරන්නේ ගැනීම සහ විකිණීම ඔහු පෙන්වා දෙයි.

මෙහිදී සිදුව ඇත්තේ ඇතිවූ ගැටලුකාරී වාතාවරණය කොටස් වෙළෙඳපොළේ ප්‍රසාරණයට බාධාවක් වීම පමණි. වෙනත් පාර්ශවයකින් සිදුවූ වරදකට කොටස් වෙළෙඳපොළට හානියක් වී තිබේ. දැනට නවතා ඇති ගනුදෙනුව සම්පූර්ණයෙන් අවලංගු කළහොත් විදේශීය ආයෝජකයන් අපේ වෙළෙඳපොළ කෙරෙහි ඇති විශ්වාසය පළුදු කර ගන්නා අතර එය රටේ ආර්ථිකයට හානිදායක බව ඔහුගේ මතයයි.

මේ පිළිබඳ අදහස් දක්වන ප්‍රකට ව්‍යාපාරිකයකු මෙන්ම ජාතික වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ශිරාන් කරුණාරත්න මහතා අවධාරණය කරන්නේ මෙවැනි සිද්ධි නිසා කොටස් වෙළෙඳපොළ පිළිබඳ ජනතා විශ්වාසය පළුදු වන බවය. කෙසේ වුවත් කොටස් වෙළෙඳෙපොළේ ප්‍රසාරණය වීම වර්ෂයේ අවසාන කාර්තුවේ අඩුවීම සිරිතක් වන අතර මෙවැනි හේතුද එයට තවත් අහිතකර ලෙස බලපාන බව ඔහු කියයි. වර්තමාන රජය බලයට පත්වූ පසු කොටස් වෙළෙඳපොළ පහළ බැසීමේ ප්‍රවණතාවක තිබී මේ වනවිට යළිත් වර්ධනය වෙමින් තිබුණද මෙවැනි හේතු නිසා යළිත් මුලින් තිබූ තත්ත්වයට වැටීමට ඉඩ ඇති බවටද ඔහු අනතුරු හඟවයි.

ලංකා බැංකුව සෙලාන් බැංකුවේ කොටස් හිමිකරගෙන සිටි නිසා තමාට වාසිදායක ලෙස විකිණීම පිළිබඳව කාගෙන්වත් අවසරයක් ගත යුතුයැයි මා හිතන්නේ නැහැ. එසේම මෙහිදී වාසිදායක ලෙස ගනුදෙනුව සිදුකර ඇති අතර එහි යම් අක්‍රමිකතාවක් ඇතිවූ බවට සාධකයක් සොයාගෙන නැහැ. එහෙත් රජය පැත්තෙන් කියන්නේ ඒ පිළිබඳ චක්‍රලේඛයක් ඇති නිසා අවසරයකින් තොරව කටයුතු කළ නොහැකි බවයි. එවැනි උපදෙසක් තිබෙනවා නම් ලංකා බැංකුව ඒ බව දැනගත යුතුයි. එහෙම රෙගුලාසියක් තිබියදී එය නොසලකා කටයුතු කළා නම් එය වැරදියි. ඒ පිළිබඳ විමර්ශනයක් පවතින නිසා එහිදී නියම තත්ත්වය හෙළිවේවි. එතෙක් කාටවත් නිවැරදි අදහසක් ප්‍රකාශ කළ නොහැකියි. කෙසේ වුවත් යම් වරදක් සිදුව ඇතිනම් එය නිවැරදි කර කොටස් වෙළෙඳපොළ පිළිබඳ පරිභෝගිකයන්ගේ විශ්වාසය ඇති කිරීමට වගකිවයුත්තන් කටයුතු කළ යුතුයි. කොටස් වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය ඍජුවම රටේ ආර්ථිකයට බලපාන නිසා මෙහිදී සිතාබලා තීරණයක් ගැනීමට වගකිවයුත්තන් කටයුතු කළ යුතුයි.

මෙම ගනුදෙනුව අවලංගු කිරීම පිළිබඳ අගමැතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පසුගියදා මාධ්‍ය හරහා ප්‍රකාශ කළේය. මෙවැනි අවස්ථාවක් ලංකා ඉතිහාසයේ සිදුවූ මුල්ම සිදුවීම මෙය බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ කොටස් වෙළෙඳපොළ මෙසේ දේශපාලනීකරණය වීම නුසුදුසු අතර අගමැතිවරයාගේ නියෝගය මත අදාළ ගනුදෙනුව පවත්වා ඇති බව සත්‍යයක් නම් එය සමස්ත වෙළෙපොළ තුළ විශාල අර්බුදයක් ඇතිවීමට හේතුවනු ඇති බවයි.

මේ පිළිබඳ මතයක් විමසීමට ලංකා බැංකුවේ මහා කළමනාකරු ගුණසේකර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තාසිම් යන නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට ලියුම්කරු ගත් ප්‍රයත්නය අසාර්ථක විය.

යසවර්ධන රුද්රිගූ

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00